බේකරි නිෂ්පාදන වල මිල අඩුකරන්නැයි ඉල්ලීමක්

බේකරි නිෂ්පාදන වල මිල අඩුකරන්නැයි ඉල්ලීමක්

බිත්තර මිල අඩු වීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබාදෙන සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ. ජයවර්ධන මහතා සියලුම බේකරි හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව, බිත්තර යොදා නිපදවන බේකරි නිෂ්පාදන වල මිල හැකි ආකාරයෙන් පහල දමන ලෙසයි, සභාපතිවරයා ඔවුන්ගෙන් ඉල්ලා ඇත්තේ.

බිත්තර මිල ඉහල යාම හමුවේ බේකරි හිමියන් කිසිම අයුරකින් බිත්තර යොදා නිපදවන බේකරි නිෂ්පාදන වල මිල වැඩි කිරීමට පියවර නොගත් බවද සභාපතිවරයා පවසයි.

බිත්තර මිල එකම තත්ත්වයෙන් පවතින දෙයක් නොවන බව පෙන්වා දෙන සභාපතිවරයා මේ දිනවල මිල අඩු වුවද ඉදිරියේදී මිල වැඩිවීමක් සිදුවුවහොත් බිත්තර යොදා නිපදවන බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට නොහැකි බවද පැවසීය.

අද වන විට බේකරි හිමියන් බිත්තරයක් රුපියල් 30 ක තොග මිලකට මිලදී ගැනීම සිදු කරන බවත් ඔහු කියා සිටී.

කෙසේ වෙතත් බිත්තර මිල දිගටම පහළ මට්ටමක පැවතුණහොත් බිත්තර යොදා නිපදවන බේකරි නිෂ්පාදන මිල ස්ථිර මිල අඩු කිරීමකට යා හැකි වනු ඇති බවත් කේක් මිලද රුපියල් 100 කින් අඩු කළ හැකි බවත් සභාපතිවරයා පැවසීය .

විශේෂයෙන් බේකරි නිෂ්පාදන පාරිභෝගික ජනතාවට දැනෙන මිලකින් අඩු කිරීමට නම් බිත්තර මිල පමණක් නොව පාන් පිටි සහ මාගරින් මිලද අඩුවිය යුතු බව පෙන්වා දෙන සභාපතිවරයා එම ද්‍රව්‍යවල මිල පහත දැමීම රජය මගින් සිදු කළ යුතු බැවින් වත්මන් රජය ඒ සඳහා මැදිහත් වනු ඇති බවට තම සංගමය බලාපොරොත්තුවෙන් පසු වන බව ද වැඩිදුරටත් පැවසීය.