හරිනි අමරසූරිය නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දෙයි

හරිනි අමරසූරිය නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දෙයි

ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ  අද (24) දිවුරුම් දුන්නා.

අග්‍රාමාත්‍ය ධුරයට අමතරව අධිකරණ, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ, සෞඛ්‍ය, ආයෝජන අමාත්‍යවරිය ලෙස ද ඇය දිවුරුම් දී තිබේ.

ඒ, අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් තුන්වන කාන්තාව ලෙස හරිනි අමරසූරිය ඉතිහාසයට එක් වුණා.

මීට පෙර සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන අය මෙරට අග්‍රාමාත්‍යවරියන් ලෙස කටයුතු කර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වන පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

වර්ෂ 1970 මාර්තු මස 06 වැනි දින මෙලොව එළිය දුටු හරිනි අමරසූරිය අගමැතිනිය දේශපාලනඥයෙකු වීමට පෙර දේශීය ව සහ විදේශීයව උසස් අධ්‍යාපනය හැදෑරූ චරිතයක්.

ඇය එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් සමාජ මානව විද්‍යාව පිළිබඳ ව ආචාර්ය උපාධිය සම්පූර්ණ කළ චරිතයක් වන අතර සිය විෂයය පථය තුළ ඇගයිය යුතු මට්ටමේ පර්යේෂණ රාශියක් ද සිදු කළ කාන්තාවක් ද වනවා.

එම පර්යේෂණ අතර යෞවනයන්, දේශපාලනය, විසම්මුතිය, ක්‍රියාකාරීත්වය, ස්ත්‍රී පුරුෂභාවය, සංවර්ධනය, රාජ්‍ය සමාජ සම්බන්ධතා, ළමා ආරක්ෂාව, ගෝලීයකරණය සහ සංවර්ධනය පිළිබඳ පර්යේෂණ ග්‍රන්ථ ප්‍රකාශයට පත් කිරීම ද සුවිශේෂීයි.