කිසිම අපේක්ෂකයෙකුට බහුතරයක් නෑ – දෙවැනි මනාපය ගණන් කරන්න මැකො සූදානම් වෙයි

කිසිම අපේක්ෂකයෙකුට බහුතරයක් නෑ – දෙවැනි මනාපය ගණන් කරන්න මැකො සූදානම් වෙයි

2024 ජනාධිපතිවරණයේ දෙවැනි සහ තෙවැනි මනාප ගණන් කිරීම පිලිබඳ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ්. එල් රත්නායක මහතා නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ඒ, මීට සුළු මොහොතකට පෙර කැඳවූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

ඒ අනුව, දෙවනි මනාපය ගණන් කිරීම සඳහා මේ වන විට තේරීම්භාර නිලධාරීන්ට දැනුම් දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අනුව, ලංකා ඉතිහාසයේ මුල්වරට ජනාධිපතිවරණයක දෙවෙනි මනාපය ගණන් කිරීම ආරම්භවී තිබේ.

කිසිඳු අපේක්ෂකයෙකුට 50% ක බහුතරයක් ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

මේ වනවිට මනාප සටහනේ පෙරමුණ ගෙන සිටින අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස මහත්වරුන් හැරුණුකොට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් ව සිටි අනෙකුත් අපේක්ෂකයින් ජනපති සටනින් ඉවත් කරන බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.

“මැතිවරණ කොට්ඨාසවල දෙන ලද වලංගු ඡන්දවලින් එක් අඩකට වැඩි සංඛ්‍යාවක් කිසිම අපේක්ෂකයෙකු ලබා නොමැති බැවින් ඉතාම වැඩි ඡන්ද සංඛ්‍යාව ලබාගත් අනුර කුමාර දිසානායක මහතා හා ඊළඟට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් සජිත් ප්‍රේමදාස මහතා හැර අනෙක් අපේක්ෂකයන් තරගයෙන් ඉවත්කළ බව නිවේදනය කරමු.”

“එසේ තරගයෙන් ඉවත්කරනු ලැබූ අනෙක් අපෙක්ෂකයන්ගේ දෙවැනි හා තුන්වැනි මනාපය තරගයේ සිටින අපේක්ෂකයන්ගේ වාසියට ලබාදී ඇත්ද යන්න ගණනය කිරීම 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම පිළිබඳ පනතේ 57, 58, 59 සහ 60 යන වගන්තිවලට අනුකූලව සිදුකළ යුතු බව මැතිවරණ කොට්ඨාස භාර තේරීම්භාර නිලධාරීන් වෙත දැනුම්දී ඇති බව නිවේදනය කරමු.”

“ගණන්කිරීමේ ශාලාවලින් මනාප ගණන්කර එහි ප්‍රතිඵල තේරීම්භාර නිලධාරීන්වෙත දැනුම්දෙන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.”

“ඉන් අනතුරුව මැතිවරණ කොට්ඨාසයේ සියලුම ගණන්කිරීමේ ශාලාවලින් තරගයේ සිටින අපේක්ෂයන්ගේ වාසියට ලබාදී ඇති මනාප සංඛ්‍යාව ගණනය කර මැතිවරණ කොමිෂන් සභාවට වාර්තා කරන ලෙස දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට දැනුම්දී තිබෙනවා.”

“මැතිවරණ කොට්ඨාසවලින් ලැබෙන ප්‍රතිඵලය මාධ්‍ය වෙත නිකුත් කරනු ඇත. ඉන් අනතුරව මැතිවරණ කොට්ඨාස 22හිම තරගයේ සිටින අපේක්ෂකයින් දෙදෙනාගේ වාසියට ලබාදී ඇති මනාප එකතු කරනු ලබනවා.”