බලයට ඇවිත් මාස හයෙන් මත්ද්‍රව්‍ය, පාතාලය සම්පූර්ණයෙන්ම විනාස කරනවා

බලයට ඇවිත් මාස හයෙන් මත්ද්‍රව්‍ය, පාතාලය සම්පූර්ණයෙන්ම විනාස කරනවා

දූෂණය වංචාව පිටුදකිමින් සුවහසක් ජනතාවගේ කඳුළු පිස දමන සෞභාග්‍යමත් යුගය ලබන 21 වනදායින් ආරම්භ කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වෙන අවසන් ප්‍රචාරක රැළි සඳහා මොනරාගලදී එක්වෙමින් අද (18) පැවසීය.

රටේ ජනතාවගේ වගකීම සමගි ජන සන්ධානය භාර ගන්නා බවත් දක්ෂ, පලපුරුදු කණ්ඩායමක් සමග පොදු ජනතාවගේ අයිතීන් සුරකින පොදු ජන යුගය බිහි කරන බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

රට ගොඩනැගීමට පාට පක්ෂ භේදයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලුම දෙනාට සමගි ජන සන්ධානය වටා එක්වන්නැයි ආරාධනා කරන බවත් ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ අවසන් ප්‍රචාරක රැළි සඳහා මොණරාගල දී ඊයේ (18) එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එම රැස්වීම් වලදී අදහස් දැක්වූ සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් මෙසේද පැවසීය.

“බුද්ධි අංශ වාර්තා අනුව ලක්ෂ විස්සකට වැඩි ඡන්දයෙන් අපි අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවා. මගේ කකුලෙන් අදින අනුර රනිල් දේශපාලන ජෝඩුව අද පහළ මට්ටමට වැටිලා.

උතුම් දළදා සමිඳුන්ට මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පූජා කරලා මේ මැතිවරණ ව්‍යාපාරය අපි ආරම්භ කළා. එහෙම කරපු පළවෙනි අපේක්ෂකයා මමයි. ප්‍රතිපත්ති ප්‍රකාශනය අඩංගු සියලුම යෝජනා අපි අනිවාර්යයෙන්ම ඉෂ්ට කරන බවට ප්‍රතිඥා දී තිබෙනවා.

අපේ ජයග්‍රහණය ස්ථිරයි. ඒ ජයග්‍රහණය සාමයෙන් භුක්ති විඳින්න කියලා මම ලක්වාසී සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරනවා. කිසිවකුටත් හිංසා පීඩා කරන්න එපා.

සමගි ජන බලවේගය තුළ ප්‍රචණ්ඩත්වයට ඉඩ නැහැ. විරුද්ධ මතධාරීන්ට කිසිදු හානියක් සිදු කරන්න එපා. ඒ අයත් රට ගොඩනගන වැඩපිළිවෙලේ කොටස්කරුවන් කර ගත යුතුයි. සාමකාමීව ජයග්‍රහණය භුක්ති විඳලා ඊළඟ මොහොතේ ඉඳලා රට ගොඩනගන වැඩපිළිවෙලට මුළු රටම සූදානම් කරනවා.

අපි බුද්ධාගමට ප්‍රමුඛත්වය ලබා දෙමින් අනෙකුත් ආගම් සඳහා නිසි තැන ලබා දීමට කටයුතු කරනවා. ජනතාවගේ ආගම් ඇදහීමේ අයිතිය අපි සුරක්ෂිත කරනවා. නිරාගමික රටවල් අපි නිර්මාණය කරන්නේ නැහැ.

මම බලයට ඇවිත් මාස හයක් තුළ කුඩු මත්ද්‍රව්‍ය පාතාලය සම්පූර්ණයෙන්ම තුරන් කරනවා. ගන්න පුළුවන් තදබලම තීරණ අරගෙන මේ රටේ ක්‍රියාත්මක කුඩු මත්ද්‍රව්‍ය මාෆියාව අපි අනිවාර්යයෙන්ම ඉවර කරනවා.