ඡන්දය දාන්න ඇවිත් නොකළ යුතු දේවල් ගැන දැනුම් දීමක්

ඡන්දය දාන්න ඇවිත් නොකළ යුතු දේවල් ගැන දැනුම් දීමක්

ජනාධිපතිවරණයේදී ඡන්දය සළකුණු කරන අවස්ථාවට ජනාධිපති ධූර අපේක්‍ෂකයන්ට සහ ඡන්දදායකයන්ට ජංගම දුරකථන රැගෙන යෑම තහනම් බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා ඊයේ (12) පැවසීය.

ජනාධිපති අපේක්‍ෂකයන් ඡන්ද සළකුණු කරන අවස්ථාව ඡායාරූප ගැනීමට සහ විඩියෝ කිරීමට අවසර ලැබුණ ද ඡන්ද දින පස්වරු 4.00 ට පෙර ඒවා පළකිරීම සහ ප්‍රචාරය කිරීම තහනම් බව ද රත්නායක මහතා කීය.

තැපැල් ඡන්දය පාවිච්චි කරන අවස්ථාවට ජංගම දුරකථන ගෙන යෑමට අවසර දීමෙන් පසුගිය දිනවල වූ දේවල් බරපතල බව කී රත්නායක මහතා ඡන්ද සළකුණු අවස්ථාව ඡායාරූප ගැනීම නොව තමන් ඡන්දය දැම්මේ කාටද යන්න ප්‍රකාශ කිරීම පවා නීතිවිරෝධී බව ද සඳහන් කළේය.

මැතිවරණවලදී ඡන්දය සළකුණු කරන අවස්ථාවට ජංගම දුරකථන ගෙන යෑමට මීට පෙර තහනමක් පනවා නොතිබුණි.