සීනිබදු වංචා නඩුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් නියෝගය

සීනිබදු වංචා නඩුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් නියෝගය

2020 වසරේදී ආනයනික සීනි සඳහා පැනවූ බදු අඩු කිරීමේදී රජයට රුපියල් කෝටි 1,590ක් පාඩු වූ බව පවසමින් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා අප්‍රේල් මස 02 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

ඒ, මෙම පෙත්සම අද (12) එස්. තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් 2021 වසරේ මාර්තු 12 වන දින මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ‍මහතා වෙනුවෙන් නීතිපතිවරයා, ‍ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල, සතොස හිටපු සභාපති නුෂාඩ් පෙරේරා, පිරමිඩ් විල්මා සමාගම, එහි සභාපති සජාත් මවුසූන්, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ශාන්ත දිසානායක සහ නීතිපති යන අය එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණා.

පෙත්සම සලකාබැලීම සඳහා දින නියම කරමින් විනිසුරු මඩුල්ල නියෝග කළේ මෙම නඩුවට අදාළ විරෝධතා තිබේනම් ඒවා අද දින සිට සති අටක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසයි.

ඊට අමතරව සංශෝධනය කරන ලද වගඋත්තරකරුවන්ගේ නාම ලේඛනය අද දින සිට සති හතරක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් නියෝග කෙරුණා.

ඉන් අනතුරුව අදාළ පෙත්සම සලකාබැලීම සඳහා අප්‍රේල් මස 02 වනදා කැඳවීමට ද නියම කළා.