ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට STF ආරක්ෂාව

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට STF ආරක්ෂාව

දිවයින පුරා සියලුම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාවට පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යෙදවීමට තීරණය කර ඇතැයි, පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන ලබන 21 සහ ඊට පසු දින මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ ආරක්ෂාව සඳහා ඒ අවට කලාපය අධි ආරක්ෂක කලාපයක් කිරීමටද තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

ඡන්දය විමසීමට පසු දින සියලුම අපේක්ෂකයන් මැතිවරණ මහලේකම් කාර්යාලයට කැඳවෙන හෙයින් මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා සිවිල් ආරක්ෂක නිලධාරීන්ද යෙදවෙන අතර අවශ්‍ය වුවහොත් ත්‍රිවිධ හමුදා නිලධාරින්ද කැඳවීමට පියවර ගන්නා බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා ප්‍රකාශ කළේය.

මේ අතර ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙතැයි හඳුනාගත් ප්‍රදේශ ගණනාවකට විශේෂ ආරක්ෂාව ලබාදීමටද පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.

ජනාධිපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සඳහාද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ පොලිස් ප්‍රධානින් අතර විශේෂ සාකච්ඡාවක් මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ඊයේ (11) පැවැත්විණ.

මැතිවරණයේ ආරක්ෂක වැඩ පිළිවෙළ පිළිබඳව එහිදී දීර්ඝව සාකච්ඡා කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

මැතිවරණයේ ආරක්ෂාව සඳහා උපදෙස් ගණනාවක්ම ලබා දුන් බවද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 54,000ක පමණ පිරිසක් යෙදවීමට අපේක්ෂිතය.