දින 40 කට පමණ පෙර අතුරුදන් වූ ත්‍රීරෝද රියදුරු සොයා ගුවනින් සහ ගොඩබිමින් කළ මෙහෙයුම

දින 40 කට පමණ පෙර අතුරුදන් වූ ත්‍රීරෝද රියදුරු සොයා ගුවනින් සහ ගොඩබිමින් කළ මෙහෙයුම

නාඳුනන කාන්තාවක් සමග ත්‍රීරෝද රථයෙන් කුලී ගමනක් ගිය අතරවාරයේදී මීට දින 40 කට පමණ ඉහතදී අභිරහස් ලෙස අතුරුදන් වූ එක්දරු පියා ඝාතනය කර මළ සිරුර බදුවිල වෙල්යායේ සඟවා ඇත්දැයි යන සැකයෙන් ගුවනින් සහ ගොඩබිමින් විශේෂ සෝදිසි මෙහෙයුමක් ඊයේ (11) සිදු කෙරිණි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකායේ ඩ්‍රෝන කැමරා අංශයේ නිලධාරීන්, පානදුර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් මෙන්ම හිරණ පොලිසියේ නිලධාරීන් ඒකාබද්ධව මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදුකර තිබේ.

සඳුන් උදාර අල්විස් නැමැති පානදුර කිරි බේරිය ගල්පොත්ත පාර අංක 428/3 හි පදිංචි 31 හැවිරිදි ත්‍රීරෝද රථ රැකියාවේ නියුතු එක්දරු පියා ඉකුත් අගෝස්තු මස 3 වෙනිදින අවසන් වරට පානදුර කිරි බේරිය ත්‍රීරෝද රථ ගාලෙන් නාඳුනන කාන්තාවක් පැමිණ කුලී ගමනක් යන මුවාවෙන් රැගෙන ගොස් තිබිණි

ඔහු එම ස්ථානයෙන් එම කාන්තාව සමග කුලී ගමන යන අයුරු එම ත්‍රීරෝද රථ ගාලේම ත්‍රීරෝද රථයක් තබාගෙන කුලී ගමන් වල යෙදෙන අතුරුදන් රියදුරුගේ පියා සියැසින් දැක තිබූ බව පොලිසිය කියයි.

ඔහු එදින රෑ බෝවන තෙක් නිවසට නොපැමිණීමත්, ජංගම දුරකථනයද ක්‍රියා විරහිතව පැවතීම හේතුවෙන් අතුරුදන් පුද්ගලයාගේ බිරිඳ ඒ සම්බන්ධයෙන් එදිනම රාත්‍රී හිරන පොලිසියට පැමිණිලි කර තිබිණි.

ත්‍රීරෝද රථ රියදුරුගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අතර වාරයේදී බණ්ඩාරගම කිඳෙල්පිටිය බදුවිල පාරේ කොටු ගොවිතැන් කරන පුද්ගලයෙකු එම මාර්ගයේ ගමන් කරමින් සිටියදී මී ගහක් අසල කොළ පාටට හුරු ත්‍රීරෝද රථයක් නවතා තිබෙනු දැක තිබූ අතර එහි තට්ටුව මත හා බිම ලේ තැවරී තිබෙන අයුරුත් දැක පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව එම බල ප්‍රදේශයට අයත් කහතුඩුව පොලිසියේ නිලධාරීන් හා හිරණ පොලිසියේ නිලධාරීන් පැමිණ සිදුකළ පරීක්ෂාවේදී නන්චක්කුවකට සමාන අයුරින් කේබලයක් දමා සැකසූ උපකරණයක් මෙන්ම ඊට අඩි 10 ක් පමණ ඈතින් ත්‍රීරෝද රථ රියදුරු අවසන් වරට පැළඳ සිටි කැප්තොප්පියද සොයා ගැනීමට හැකි වී ඇත.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන පානදුර සළිඳු නැමැත්තා විදේශගතව සිටියදී එවකට මෙරට සිටි නිලංග නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලවා සලිඳුට අයත් යම් දෙයක් සොරකම් කිරීමේ සිද්ධියකට මෙම ත්‍රීරෝද රථ රියදුරු සහ වඳුරාමුල්ල ප්‍රදේශයේ තවත් පුද්ගලයකු 2021 ජූලි මස 12 වෙනිදින පැහැරගෙන වඳුරාමුල්ල ප්‍රදේශයේ සූසාන භූමියට රැගෙන ගොස් පහරදී තිබූ අතර එහිදී මෙම අතුරුදහන් ත්‍රීරෝද රථ රියදුරු මිය ගිය ආකාරයට සිට ඇති අතර අනිත් පුද්ගලයා එහිදී මියගොස් තිබූ බව පොලිසිය කියයි.

පහර දුන් පුද්ගලයන් එම ස්ථානයෙන් පිටව යාමෙන් අනතුරුව රියදුරු එම ස්ථානයෙන් පලා විත් තිබුණි.

එම සිද්ධියෙන් අනතුරුව නිලංග නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විදේශ රටකට පලා ගොස් තිබූ අතර එම ඝාතනය ඇසින් දුටු එකම සාක්ෂිය මෙම අතුරුදහන් ත්‍රීරෝද රථ රියදුරු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය පවසයි.

මේ වන විට විදේශගතව සැඟවී සිටින නිලංග නමැත්තා අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු වරෙන්තු ලබාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

ත්‍රීරෝද රථ රියදුරුගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් කිරිබේරිය ත්‍රීරෝද රථ ගාල අසල සිට බදුවිල වෙල්යාය අසල දක්වා අවට ප්‍රදේශය ආවරණය වන පරිදි සිසිටිවි කැමරා දර්ශන 50 ක් පමණ ලබාගෙන ඔහුගේ බිරිඳ ඇතුළු සමීප ඥාතීන් මෙන්ම පුද්ගලයන් 38 ක දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ඩ්‍රෝන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජි පි හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරීන් ඩ්‍රෝන කැමරා දෙකක් යොදවා බදුවිල මාර්ගයේ අක්කර 97 කින් යුත් බදුවිල වෙල්යාය දෙපස කැලෑ ප්‍රදේශය ආවරණය වන පරිදි පැය තුනකට අධික කාලයක් පරික්ෂා කළද කිසිදු වැදගත් හෝඩුවාවක සලකුණු අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇත.

එලෙසම පානදුර පොලිස් කොට්ඨාසය අපරාධ පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් කුමාර මහතා ඇතුළු නිලධාරීන් අතුරුදන් රියදුරුගේ ඥාතීන් පවසන එම වෙල්යායේ කැලෑ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සිදු කළද වැදගත් හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වී ඇත.

ත්‍රීරෝද රථ රියදුරුගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ලැබෙන සෑම තොරතුරක් ඔස්සේම පරීක්ෂණ පවත්වන බව විමර්ශන නිලධාරිහු පවසති.

පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් පේමරත්න අධ්‍යක්ෂක මංගල දෙහිදෙණිය මහත්වරුන්ගේ උපදෙස් මත මහජන පැමිණිලි අංශයේ නිලධාරින් දස දෙනෙකුගෙන් යුත් පිරිසක් විමර්ශන සිදුකරයි.

මේ සඳහා හිරණ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමීර ද සිල්වා, අපරාධ විමර්ශන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රසන්න, පොලිස් කොස්තාපල් වරුන් වන 90316 කනිෂ්ක හා 97843 ඩිලාන් මහත්වරුන් සහාය වුහ.