අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති තුළ මත්ද්‍රව්‍ය පාලනයට ඇති යෝජනා

අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති තුළ මත්ද්‍රව්‍ය පාලනයට ඇති යෝජනා

ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් විසින් මේ වන විට ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ මද්‍යසාර, දුම්කොළ, දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය පාලනයට අදාලව විශේෂ සැලකිල්ලක් දක්වා නොමැති බවද මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC ආයතනය) සදහන් කරයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂයන්ට තම ආයතනය විසින් මද්‍යසාර, දුම්කොළ, දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය පාලනය සදහා විද්‍යාත්මක පදනමක් මත යෝජනා 12ක් ඉදිරිපත් කල බවද එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක සම්පත් ද සේරම් මහතා සදහන් කළේය.

එම යෝජනාවලිය සැලකීමේ දීත් අපේක්ෂකයින් බොහෝ දෙනෙකු තම ප්‍රතිපත්ති ප්‍රකාශවලට ඇතුලත් කර තිබෙන්නේ යෝජනා කිහිපයක් පමණක් බවත් අපේක්ෂකයන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ මද්‍යසාර, දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳව ප්‍රතිපත්ති අන්තර්ගත කර ඇති ප්‍රමාණය පිළිබඳ රටක් ලෙස සතුටු විය නොහැකි බවද පවසා සිටියේය.

රටේ එක් ප්‍රධානතම ගැටලුවක් බවට මද්‍යසාර, දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය පත් වී තිබෙන බවත් එය පාලනය කිරිම ජනතාවගේ සෞඛ්‍ය, ආර්ථික, සමාජයීය සහ පාරිසරිකව ඉතාම වැදගත් වන බවද සදහන් කළේය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් අතුරින් ප්‍රධාන ධාරාවේ අපේක්ෂකයන් විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයන් තුළ මද්‍යසාර, දුම්කොළ, දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය පාලනය සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති කරණූ පිලිබද තම ආයතනයේ නිරීක්ෂණයට ලක් කල බවද පවසා සිටියේය.