දෝණාවක් කඩා වැටී නිවිතිගල කොළඹගම ගමනාගමනයට බාධා

දෝණාවක් කඩා වැටී නිවිතිගල කොළඹගම ගමනාගමනයට බාධා

නිවිතිගල කොළඹගම ප්‍රධාන මාර්ගයේ දොලොස්වල ප්‍රදේශයේ දී පතල් දෝණාවක් අද (10) උදෑසන කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර වී ඇතැයි ප්‍රදේශවාසීන් පවසයි.

මීට මාස හයකට පෙර රජයේ මුදල් කෝටි ගණනක් වැයකර මෙම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කර තිබේ.

ප්‍රදේශයේ ජනතාව තම ගමනාගමන කටයුතුවලදී දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිය දී බලධාරින් ට කරුණු පැහැදිලි කර දී විශාල වෙහෙසක් දරා මෙම පාර සංවර්ධනය කර ගත්තද අනවසර පතල් ජාවාරම්කාරයින් විසින් විනාශ කිරීම දැඩි පිළිකුල් සහගත බව ඔවුහු පවසති.

මේ වන විට මාර්ගය ආසන්නයේ ඉදිකර ඇති ගොඩනැගිලිද ගිලා බැස ඇති බවද ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.

කොළඹගම ඇතුළු තදාසන්න ප්‍රදේශවල සිට නිවිතිගල රත්නපුර ආදී පාසල් දරුවන්ගේ පාසල් ගමනද මේ හේතුවෙන් ඇණහිටි බව දෙමාපියන් පවසයි.

දැනට රත්නපුර සිට කොළඹගම දක්වා පැමිණෙන බස් රථ දොලොස්වලින් නතර කර කොළඹගම සිට පැමිණෙන බස්රථ දොලොස්වල දක්වා පැමිණ මගීන් මාරු කර ප්‍රවාහන පහසුකම් තාවකාලිකව සකස් කර ඇත.

මාර්ගය හරහා දැව මුක්කු ගසා දෝණා හාරා ඇති අතර විදුලි පහසුකම් ද ලබා ගෙන අනවසර පතල් ජාවාරම සිදු කර ඇති බව ඔවුහු පෙන්වා දෙති.

මාර්ගයේ කාපට් ඇතිරූ කොටස් දෝනාව තුළට කඩා වැටෙමින් පවතින බව වාර්තා වේ.