අනුරගෙන් පෞද්ගලික අංශයටත් සහන

අනුරගෙන් පෞද්ගලික අංශයටත් සහන

පෞද්ගලික අංශයේ සේවාවන් වලට තිබෙන බාධාවන් ඉවත් කිරීමට කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (08) කොළඹදී පැවසීය

කොළඹ මරදාන පී ඩි සිරිසේන ක්‍රීඩාංගනයේ පැවති අන්තර්ජාතික සේවක සංගමයේ 25වැනි වාර්ෂික සමුළුව අමතමින් ඒ ගැන කී ඒ මහතා එහිදී මෙසේද කීය

ලංකාවේ මෙතෙක් කාලයක් දෙපැත්තට හුවමාරු වෙමින් තිබූ දේශපාලන බලය මේ සැප්තැම්බර් 21 වැනිදා අවසන් කරන බව නියතයක්ව තිබෙනවා.

මේ නිසාම සතුරන් සියලු දෙනා දේශපාලන තර්ක වෙනුවට අසත්‍ය අවලාද, විකෘති කිරීම් විශාල ප්‍රමාණයක් ප්‍රචාරය කරමින් තිබෙනවා.

රට තුළ එකිනෙකාට එරෙහිව ජාතිවාදය වැපිරීමට, එකිනෙකා විරසක කිරීමට දරන උත්සාහයන් දැන් අහෝසියි. නමුත්, රනිල් වික්‍රමසිංහලා තාමත් පරණ බඩු කඩෙන් බඩු ගන්නේ. රනිල් වික්‍රමසිංහ මෑත අවස්ථා ගණනාවකදීම “මා මිත්‍ර අනුර, මගේ යාළුවා අනුර” යනුවෙන් කියා තිබෙනවා.

ඔය ශේප් වෙන්න එන්නේ. රනිල් වික්‍රමසිංහ ඔයාට අපත් එක්ක ‘ශේප්’ වෙන්න බැහැ. මහ බැංකුවේ වංචාව පිළිබඳව පරික්‍ෂණ කරනවා. ඒ වාගේම ඔයාගේ කාලයේ බාර් ලයිෂන් දීපු විදිය හොයනවා.

ඉඩම් ප්‍රතිසංස්කරණ සභාව සතු ඉඩම් යාළුවන්ට බෙදපු විදිය හොයනවා.. නමුත්, ජාතික ජන බලවේගය බලයට පත් වීමෙන් පසුව ජයග්‍රහණය සමරන්නේ කොහොමද කියලත් අපි උගන්වනවා.

සැප්තැම්බර් 23 වැනිදා සිට හැම පක්‍ෂයකම පාක්‍ෂිකයන් හමු වී වෙනස් වෙන්න අපි ආරාධනා කරනවා. නමුත්, වෙනස් වෙන්න අකැමැති නම්, ඔවුන්ට කැමැති දේශපාලන ව්‍යාපාරයක දේශපාලනය කිරීමේ අයිතිය තිබෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. .
කලින් කිවුවේ, සියයට තුනක් තියාගෙන දිනන්නේ කොහොමද කියලා. දැන් සජිත්ට කතිරය ගහලා අපව පරාද කරන්න බැහැ කියලා රනිල් කියනවා.

සජිත් කියන්නේ, රනිල්ට කතිරය ගහලා අපව පරාජය කරන්න බැහැ කියලා. අද මේ රටේ ජනතාව කෙළින්ම මාලිමාව ඉදිරියේ කතිරය ගහන්න පෙළගැසී සිටිනවා.

ඒ නිසා ඔවුනුත් අපේ ජයග්‍රහණය පිළිගෙන ඉවරයි. අලුතින් කියන්නේ, දිනුවත්, මාස හයක් යන්න බැහැ කියලයි. ඔවුන්ගේ ප්‍රචාරවල මුලින්ම “මාලිමාවට දිනන්න බැහැ” කියලා කිවුවා. ඊළඟට “මාලිමාව දිනුවොත්…” කියලා කිවුවා. දැන් කියන්නේ, “මාලිමාව දිනුවාම මාස හයක් යන්න බැහැ” කියලා.

මේ වෙනස පිළිබඳව ගැඹුරු සහ විශාල බලාපොරොත්තුවකින් අප දීර්ඝ කාලයක් අධිෂ්ඨානශීලීව සිටිමින්, විශාල බලවේග ප්‍රමාණයක් සංවිධානය කර තිබෙනවා. ඒ වාගේම ශක්තිමත් වැඩපිළිවෙළක් අප සකස් කර තිබෙනවා. අපි මේ ජයග්‍රහණය අත්පත් කර ගන්නේ මාස හයෙන් යන්නද? මේ ජයග්‍රහණයෙන් ලංකා ඉතිහාසයේ දිර්ඝතම ජයග්‍රහණයක් නිර්මාණය කරන බව සහතිකයි.