දළදා මාළිගාව තුළ සිදුකළ ප්‍රී ෂූට් එක සම්බන්ධයෙන් විමර්ශනයක්

දළදා මාළිගාව තුළ සිදුකළ ප්‍රී ෂූට් එක සම්බන්ධයෙන් විමර්ශනයක්

පසුගියදා අලුත විවාපත් යුවළක් ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව තුළ සිදුකළ ඡායාරුප ගතකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.

ශ්‍රී දළදා මාළිගාව තුළ සිදුකළ විවාහ පූර්ව ඡායාරූප රූ ගත කිරීම පොලිසියේ අනුදැනුමකින් තොරව සිදුවිය නොහැකි බව දියවඩන නිලමේ නිංල දෑල මහතා පවසයි.

පොලිසියේ හැසිරීම සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් තම දැනුම් දීම මත ආරම්භ කර තිබෙන බවද දියවඩන නිලමේවරයා පැවසීය.

දියවඩන නිලමේවරයාවත් නොදැන මෙම නව යුවළ දළදා මාලිගාවේ ඉහළ මාලයට පවා පැමිණ ඡායාරූප ගනිමින් සිටියදී එහි රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී වෙනත් බලගතු පාර්ශවයකින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් එම කටයුත්ත කරගෙන යාමට ඉඩ සලසා දී තිබෙන බවටද කරුණු අනාවරණය වී තිබේ.

අදාළ යුවළ දළඳා මැදුර තුළ හේවිසි මණ්ඩපය, අම්බරාව ඇතුළු ස්ථාන කිහිපයක සිට මෙම ඡායාරුප ගතකිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ යුවළ සහ ඡායාරූප ශිල්පීන් අද (09) දිනයේ මහනුවරට කැඳවා මේ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කටයුතු කරන බවයි පොලිසිය පැවසුවේ.

මෙම ඡායාරුප ගතකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් සමාජ මාධ්‍යවල දැඩි කතා බහක් මතුව තිබෙනවා.

බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වන ශ්‍රී දළදා සමිඳුන් වැඩවාසය කරන ශ්‍රී දළදා මාලිගාව වැනි පූජනීය ස්ථානයක මේ ආකාරයෙන් ෆ්‍රී ෂූට් කිරීමට ඉඩ ලබා දීමෙන් ඉදිරියේ දී තවත් අය එවැනි කටයුතු සඳහා දළදා මැදුරට පැමිණෙනු ඇතැයිද මේ හේතුවෙන් දළදා වහන්සේ පිළිබඳ දිස් විදෙස් ජනතාවගේ ඇති ගෞරවයට පවා හානි සිදුවිය හැකි බව පවසන බෞද්ධ ජනතාව මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර නොගතහොත් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද බෞද්ධ සංවිධාන සඳහන් කරති.