වතු ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙනවා – ජනපති

වතු ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙනවා – ජනපති

තමන් ලයින් කාමර යුගය අහෝසි කරන බවත්, වතුකරයේ ජනතාවට ද සින්නක්කර ඉඩම් අයිතිය ලබාදී උසස් පහසුකම් සහිත ගම්මානයක ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම තම අපේක්ෂාව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (08) පස්වරුවේ හපුතලේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමින්.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියා.

ජන රැලිය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එදා පෝලිම්වල දුක් විඳි ජනතාව රටේ අනාගතය පිළිබඳ බියෙන් පසු වූ බවයි.

තමා ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තේ ඒ සියල්ල නිවැරදි කිරීමට බවත්, ඒ වෙනුවෙන් පසුගිය දෙවසර තුළ ආරම්භ කළ වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමේ ජනවරම මෙවර ජනාධිපතිවරණයේදී ඉල්ලා සිටින බවත් ජනාධිපතිවරයා පැවසුවා.

ජන රැලිය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසුවා,

බණ්ඩාරවෙල, හපුතලේ සහ දියතලාව කියන ප්‍රදේශ මම දීර්ඝ කාලයක් පුරා දැනගෙන සිටියා. අද මම පැමිණ තිබෙන්නේ අඩුපාඩු නැති හපුතලේ ආසනයටයි.

2022 වසරේදී මම මෙහි පැමිණෙන විට ඉන්ධන, ගෑස් හා ඖෂධ ලබා ගැනීම වෙනුවෙන් පෝලිම් තිබුණා. රැකියා තිබුණේ නැහැ. විදුලි බලය තිබුණේ නැහැ. රටට අනාගතයක් තිබෙනවාද කියා ජනතාව බියෙන් පසු වුණා. මම ආණ්ඩුව භාරගත්තේ මේ සියල්ල නිවරැදි කිරීමටයි. මේ රටේ ජනතාව ජීවත් කරවීමේ වගකීම එදා මම භාරගත්තා. ඒ වෙනුවෙන් අසීරු තීරණ ගැනීමට මට සිදුවුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන අපි ආරම්භ කළා. මම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වැඩ කර තිබු නිසා ඔවුන් සමඟ වැඩ කරන්නේ කොහොමද කියා මම දනන්වා. ඒ නිසා එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනිමට මට හැකි වුණා.

කෙසේ හෝ අද අප මේ රටේ ආථිකය ශක්තිමත් කර තිබෙනවා. ඒ වගේම ජනතාවගේ ජිවන බර අඩු කරමින් ඔවුන්ට සහන සැලසීමේ වැඩපිළිවෙළද ආරම්භ කර තිබෙනවා. ඉදිරියේ දී රුපියල තවත් ශක්තිමත්වීමත් සමග භාණ්ඩ මිල තවත් අඩු වෙනවා.

2023 වසරේ රජය සතුව මුදල් තිබුණා. අපි අඩුආදායම්ලාභී ජනතාව වෙනුවෙන් අස්වැසුම වැඩසටහන ආරම්භ කළා. ඒ යටතේ සමෘද්ධිය වගේ තුන් ගුණයක ප්‍රතිලාභ ජනතාවට ලබා දුන්නා. ලබාදෙන ප්‍රමාණය ලක්ෂ 18 සිට 24 දක්වා වැඩි කළා. ලයින් කාමරවල සිටින වැඩිහිටි අයටත් අස්වැසුම ලබාදීමට අප කටයුතු කරනවා.

2024 වසරේ අපේ රටේ ආර්ථිකය තවත් ශක්තිමත් වුණා. ඒ අනුව රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අප කටයුතු කළා. ඒ වගේම වතුකරයේ ජනතාවගේ වැටුප් වැඩි කිරීම කටයුතු කර තිබෙනවා. 2025 වසරේ ද ආර්ථිකය තවත් ශක්තිමත් වන නිසා උදය ආර්. සෙනෙවිරත්න වාර්තාව අනුව රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අප කටයුතු කරනවා.

ඒ වගේම අපි ලබාගත් ණය ආපසු ගෙවීමේදී සහන ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ අපට ණය ලබාදුන් රටවල් 18 මේ වන විට එකඟ වී තිබෙනවා. ඒ අනුව ඩොලර් බිලියන 10ක ණය සහනයක් අපට ලැබී තිබෙනවා.

ඒ වගේම ණය ගෙවීමට ඇති කාලය 2043 දක්වා දීර්ඝ කර තිබෙනවා. මෙම ගිවිසුම් අනුව ඉදිරියට ගියොත් අපට දියුණු විය හැකියි. ඒ නිසා මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යනවාද, නැද්ද කියා මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව තීරණය කළ යුතුයි.