රුසියාව වෙනුවෙන් ඔත්තු බැලූ බෙලූගා තල්මසා මියයයි

රුසියාව වෙනුවෙන් ඔත්තු බැලූ බෙලූගා තල්මසා මියයයි

“නේටෝ සංවිධානය” හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට අයත් රටවල නාවික කටයුතු සම්බන්ධයෙන් ඔත්තු බැලීම සඳහා පුහුණු කළ බව පැවැසෙන බෙලූගා වර්ගයේ තල්මසා මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

‘ව්ලැදිමීර්’ යන නමින් හැඳින්වුණු මෙම බෙලූගා තල්මසාගේ සිරුර හමුවී ඇත්තේ නෝර්වේ රාජ්‍යයේ, නිරිතදෙසින් පිහිටි ‘රිසාවිකා’ නමැති වෙරළාශ්‍රිත නගරයට ඔබ්බෙන් මුහුදෙනි.

තල්මසාගේ මරණයට හේතුව මෙතෙක් පැහැදිලි නොමැති අතර නෝර්වේ බලධාරීන්, තල්මසාගේ සිරුර, මරණ පරීක්ෂණයක් සඳහා රැගෙන ගිය බව ද පැවැසෙයි.

මෙම තල්මසා මිනිසුන්ට හීලෑ සත්වයෙකි. පසුගිය වසර ගණනාව තිස්සේ, අවස්ථා කීපයකදී, යුරා්පා රටවලට ඔබ්බෙන් මුහුදේ දී මෙම තල්මසා නාවිකයන්ට හමුවී ඇත්තේ කරපටියක් සමඟය.

ඔත්තු බැලීමට මෙම තල්මසා යොදා ගත් බවට එල්ල වන චෝදනා රුසියන් ආරක්ෂක අංශ හෝ බුද්ධි අංශ හෝ තහවුරු කර නැත.

එම කරපටියේ ‘ගෝ ප්‍රෝ’ වර්ගයේ කුඩා කැමරා සවි කර තිබුණි. ඒ ඔත්තු බැලීම් සඳහාය. ‘ගෝ ප්‍රෝ’ කැමරාව, රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී නිර්මාණය කළ ඔත්තු නිරීක්ෂණ කැමරාවක් බව පැවැසෙයි.

බෙලූගා තල්මසුන්, මහ මුහුදේ දැවැන්තයන් නොවෙයි. ක්ෂීරපායින් වන මොවුන් ප්‍රමාණයෙන් ඩොල්පින් වැනිය. සාමාන්‍යයෙන් බෙලූගා තල්මසකු අවුරුදු 60 ක් පමණ ජීවත් වෙන බව ද පැවැසෙයි. ‘ව්ලැදිමීර්’ තල්මසාගේ වයස අවුරුදු 15 ක් යැයි අනුමාන කෙරේ.

ඩොල්පින් මෙන්, බෙලූගා තල්මසුන් ද හොඳින් පුහුණු කළ හැකි මුහුදේ වෙසෙන ක්ෂීරපායීන්ය. ‘ව්ලැදිමීර්’ මීට පෙර නෝර්යේ රාජ්‍යයට ඔබ්බෙන් මුහුදේ දකින්න ලැබී ඇත්තේ 2019 අප්‍රේල් මාසයේය.