වෛද්‍යවරියක් දූෂණය කර මරා දැමීමට එරෙහිව ඉන්දියාව පුරා වෛද්‍ය වර්ජනයක්

වෛද්‍යවරියක් දූෂණය කර මරා දැමීමට එරෙහිව ඉන්දියාව පුරා වෛද්‍ය වර්ජනයක්

පසුගියදා බටහිර බෙංගාලයේ කොල්කටා නගරයේදී වෛද්‍යවරියක දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් ඉන්දියාවේ වෛද්‍යවරුන් රට පුරා වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා සහ හදිසි අනතුරු සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය වෛද්‍ය සංගමය ප්‍රකාශ කළේ.

ඒ අනුව, අත්‍යවශ්‍ය නොවන සියලු‍ම රෝහල් සේවා කටයුතු අඩාල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය 09වනදා 31 හැවිරිදි මෙම වෛද්‍යවරිය රෝහලේ සම්මන්ත්‍රණ ශාලාවක විවේක ගනිමින් සිටියදී ඝාතනයට ලක්ව තිබුණා.

ඊට එරෙහිව ඉන්දියාව පුරා කාන්තාවන් දහස් ගණනක් වීථි බැස විරෝධතාවල නියැලුණේ කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින්.

විරෝධතාකරුවන් ඉල්ලීම් කරන්නේ, අපරාධය සම්බන්ධයෙන් විමර්ශන කිරීම ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යංශයට භාරදිය යුතු බවටය.

ඝාතනය කෙරුණු වෛද්‍යවරියාගේ මළ සිරුරු සොයාගෙන තිබුණේ පසුගිය 9 වැනිදා ආර්.ජී.කාර් වෛද්‍ය විද්‍යාලයේ සම්මන්ත්‍රණ ශාලාවක් තුළ තිබියදීය.

ඊට පෙර දින රාත්‍රියේ දී ඇයව දූෂණය කර මරා දමා ඇති බව පැවසේ.

වෛද්‍ය විද්‍යාලයේ සේවය කළ ස්වේච්ඡා සේවකයෙකු සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම වෛද්‍ය විද්‍යාලයේ විදුහල්පතිවරිය ද ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.