කොන්ත්‍රාත්තුව වැරදී වෙනත් තරුණයෙකු මරුට

කොන්ත්‍රාත්තුව වැරදී වෙනත් තරුණයෙකු මරුට

සිය බිරිය සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයකු ඝාතනය කිරීමට දුන් කොන්ත්‍රාත්තුවක් වැරදී යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු කළ වෙඩි තැබීමකින් ශ්‍රී පුර, කාවන්තිස්සපුර ප්‍රදේශයේ තරුණයකු අද (16) අලුයම එම ස්ථානයේදීම මියගොස් ඇති බව ඇතැයි ශ්‍රී පුර පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, කේ.ඩී.චන්දන මනෝජ් ජයසිංහ නැමැති අවුරුදු 26 ක් වන කාවන්තිස්සපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය පවසයි.

වෙඩික්කරුවන් විසින් ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 4 ක් පමණ එල්ල කර ඇති බව පොලිසිය පවසයි.

දැනට විදෙස් රටක සිටින පුද්ගලයකුගේ බිරියක සමග ශ්‍රීපුර ප්‍රදේශයේ පුද්ගලයකු අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති අතර විදෙස් රටක සිටින පුද්ගලයාට ඒ බව සැලවීමෙන් අනතුරුව එම පුද්ගලයා ඝාතනය කිරීම සදහා කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති බව දැනට සිදුකළ විමර්ශවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා ගැමුණු පුර ප්‍රදේශයේ කාපට් මාර්ගයක වී වේලීම සඳහා මාර්ගයේ වී අතුරා තබා සතුන්ගෙන් ආරක්ෂාකරමින් එම ස්ථානයේ සිටියදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

එම වෙඩි තැබීමෙන් ඝාතනය වූ පුද්ගලයා අවිවාහක පුද්ගලයකු වන අතර ඔහු අනියම් සම්බන්ධතාව මත කොන්ත්‍රාත්තුව දුන් පුද්ගලයා නොවන බව ද පොලිසිය පවසයි.

ඝාතනය වූ පුද්ගලයා ද එම කාන්තාව සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බව කියන පුද්ගලයාගේ හැඩරුවට සමාන පුද්ගලයකු බව ද පොලිසිය පවසයි.

කොපමණ මුදලකට මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබාගත්තේද, සැකකරුවන්ට ගිනි අවි ලැබුණේ කෙසේද යන්න පිළිබදව විමර්ශන සිදුකිරීම සදහා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරති.