බණ්ඩාරගම බිහිසුණු බස් රථ අනතුරක් – අයෙක් මරුට

බණ්ඩාරගම බිහිසුණු බස් රථ අනතුරක් – අයෙක් මරුට

බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ ගල් කඩේ හංදියේදී ලංගම බස් රථයක් මාර්ගයේ රැඳී සිටි පුද්ගලයන් දෙදෙනෙකු මතට කඩා වැදී එක් අයකු මිය ගොස් තවත් අයකු බරපතළ තුවාල ලබා ඇතැයි බණ්ඩාරගම පොලිසිය පවසයි.

සිදුවූ අනතුරින් බස් රථයේ ගමන් ගත් කාන්තාවගේ අතක් ද ආබාධයට ලක්වී රෝහල් ගත වූ බව බණ්ඩාරගම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

අනතුරින් මියගොස් ඇත්තේ, අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 45-55 පුද්ගලයෙකි.

බණ්ඩාරගම ප්‍රදේශයේ විහාරස්ථානයක ඉදිකිරීම් කටයුත්තක් සඳහා අනතුරට පත් පුද්ගලයන් දෙදෙනා සහ තවත් පුද්ගලයකු පැමිණ ආපන ශාලාවකින් දහවල් ආහාර ලබාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ආහාර ලබා ගැනීමෙන් අනතුරුව එම පුද්ගලයන් දෙදෙනා අකුරැස්සේ සිට රැගෙන ආ පුද්ගලයා බුලත් විටක් මිලදී ගැනීම සඳහා ආපනශාලාවට මඳක් ඈතින් ප්‍රතිවිරුද්ධ දිසාවේ තිබෙන වෙළඳසැලකට ගොස් ඇති අතර අනෙක් පුද්ගලයන් දෙදෙනා ඔහු පැමිණෙන තෙක් මාර්ගයේ රැඳී සිටියදී බණ්ඩාරගම දෙස සිට කැස්බෑව දෙසට ධාවනය වූ ලංගම බස් රථය ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වී එකවරම එම පුද්ගලයන් යට කරගෙන එම දිසාවේම තිබෙන කුකුල් මස් වෙළඳසැලක් වෙත කඩා වැදි නතර වී තිබූ බව පොලිසිය කියයි.

බුලත් විට මිලදී ගැනීම සඳහා වෙළෙඳ සැලට ගිය පුද්ගලයා අනතුර සිදුවූ ස්ථානයට දිවවිත් කෝ මාත් සමග ආපු යාළුවන් දෙදෙනා නෑ කියමින් හඬා වැළපෙමින් ඒ මේ අත දිව යද්දී එහි රැස්වූ පිරිස වහා ක්‍රියාත්මක වී බස් රථය යට පිරිස්සීමේදී ඔවුන් දෙදෙනාම බරපතල තුවාල ලබා බස් රථය යට සිරවී සිටිනු දක්නට ලැබී ඇතැයි පොලිසිය කියයි.

බස් රථයට යට වී තිබූ පුද්ගලයන් දෙදෙනා මාර්ගයේ ගමන් ගත් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් බස් රථය උඩට උස්සා පිටතට ගත් රැස්වූ පිරිස එම පුද්ගලයන් දෙදෙනා රෝහල් ගත කිරීම සඳහා වාහනයක් සොයමින් සිටියදී එම අවස්ථාවේ රාජකාරී කටයුත්තට ගොස් යළි බණ්ඩාරගම දෙසට ධාවනය වෙමින් තිබූ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අයත් ජීප් රථයේ පොලිස් නිලධාරීන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී එම පුද්ගලයන් දෙදෙනා රෝහල් ගත කිරීමට පියවර ගැනිණි.

අනතුර සිදුවන අවස්ථාව වන විට මස් වෙළඳසැල වසා දමා එය පවත්වාගෙන යන පුද්ගලයා නිවස කරා පිටත්ව ගොස් තිබූ හෙයින් ඔහුගේ දිවි අනූ නවයෙන් බේරී ඇතැයි පොලිසිය කියයි.

බරපතල තුවාල ලද පුද්ගලයන් දෙදෙනා බණ්ඩාරගම දිසාරෝල වෙත රැගෙන එන විටත් එක් පුද්ගලයකු මියගොස් තිබූ අතර අනෙක් පුද්ගලයාට කඩිනමින් මූලික ප්‍රතිකාර ලබාදී හොරණ මූලික රෝහල වෙත යොමු කිරීමට පියවර ගත් බව රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රියදුරු ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී බස් රථයේ එකවරම දකුණට කැපුණු බවත් අවස්ථාවේ තිරිංග වෙනුවට ඇක්සලේටරය පෑගුණ බවත් ප්‍රකාශ කළ බව බණ්ඩාරගම පොලිසිය කියයි.

සිදුවූ අනතුරින් විදුලි කණුවකට දුරකථන කණුවකට, මෙන්ම මස් වෙළඳ සැලකට බරපතළ අලාභ සිදු වී ඇතැයි පොලිසිය කියයි.