මෙරට ප්‍රභලතම පාතාලයින් රැසකගේ විමර්ශන බාරව සිටි පොලිස් ලොක්කෙක් කංජිපානි එක්ක ඉතාලියේ පාටියක – වසන්ත , මධුෂ් ඇතුළු පාතාල ප්‍රභලයින් රැසකගේ ඝාතන වල සුල මුල මෙන්න
දසක ගණනාවක් තිස්සේ ගිනි අවි සමඟ මෙරට පාතාල අපරාධකරුවන් සෙල්ලම් පෑව ද උණ්ඩයේ නම කොටා කිසිවිටකත් වෙඩි තබා තිබුණේ නැත.දැන් එයත් සම්පූර්ණය.
කැරොකේ වසන්ත ඉලක්කරගෙන අතුරුගිරියේ තැබූ සෑම වෙඩිල්ලකම කංජිපානි ඉම්රාන් KPI ලෙස පෑනකින් සිය නම සටහන්කර තිබුණේය.
කැරොකේ වසන්ත ඉලක්ක කරගෙන වෙඩික්කරුවන් දෙදෙනෙක් පසුගිය 08 වෙනිදා උදෑසන වෙඩි තබන්නේ ටී 56 අවි දෙකක් යොදාගෙනය. එතැන බිම වැටී තිබී සොයාගත් පතොරම් හිස් කොපු 27ම සටහන්ව තිබී ඇත්තේ KPI කියාය.
මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇත්තේ කංජිපානි ඉම්රාන් යැයි කියන්නේ කංජිපානි ඉම්රාන් මත්කුඩු ජාවාරම සිදු කිරීමේදී ඔහුට පාකිස්ථානයෙන් ලැබෙන මත්කුඩු පාර්සල්වල KPI යැයි කියා ඔහුගේ ප්‍රවර්ධන නාමය සටහන් කරන නිසාම නොව වසන්තව මරා දැමීමට කංජිපානිට ඇති හේතූ ගණනාවක්ම හෙළි වෙමින් පවතින බැවිනි.
එහෙත් ඇතැම් උදවිය එය පිළිගන්නට එතරම් කැමැත්තක් දක්වන්නේ නැත. ඒ ඔවුන් කංජිපානිගෙන් යැපෙන උදවිය නිසාද?
එසේත් නැතිනම් කංජිපානිගේ පිහිටෙන් යම් දවසක ප්‍රංශය වැනි රටක ජීවත් වන්නට ඇති කැමැත්ත නිසාදැයි යමකුට ප්‍රශ්න කළ හැකිය.
ඒ කංජිපානි සම්බන්ධයෙන් වූ විමර්ශන ගොන්නක්ම සිදු කළ පොලිස් පරීක්ෂකවරයෙක් මේ වන විට කංජිපානිගෙන් පාතාල තර්ජන ඇතැයි පවසමින් මෙරටින් පලාගොස් දැන් ප්‍රංසයේ කංජිපානිගෙන්ම යැපෙමින් ජීවත් වෙන බැවිනි.
පාතාල අපරාධ විමර්ශන ඒකකයක ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී රටින් පැන්න එම පොලිස් පරීක්ෂකවරයා මෑතකදී කිහිප දෙනකුට දැකගන්නට පවා ලැබී ඇත්තේ ඉතාලියේ දී කංජිපානි සමඟ එකට සිටියදීය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ වෙඩිල්ලකින් මරුමුවට පත්වූ ප්‍රබල පාතාල අපරාධකරුවකුගේ මාමා යැයි කියැවෙන තවත් ප්‍රබල පාතාල අපරාධකරුවෙක් ජීවත් වෙන්නේ ඉතාලියේය.
අපරාධ ලෝකයෙන් ඈත්ව ජීවත් වෙන ඔහු ඉතාලියේදී සාදයක් සංවිධානය කර ඇත්තේ සිය උපන්දිනය වෙනුවෙනි. එම සාදයේ ආරාධිතයන් අතර කංජිපානි ද සිට ඇත. කංජිපානි එම සාදයට පැමිණ ඇත්තේ පොලිස් පරීක්ෂකවරයා සමඟිනි.
මෑත කාලයේ කොළඹ සිදු වූ පාතාල අපරාධ ගොන්නක්ම විසඳීමට මුල්වූ මෙම නිලධාරියා මාකඳුරේ මධුෂ් අබිරහස් වෙඩි පහරින් මරුමුවට පත්වන විටත් සිට ඇත්තේ පාතාල අපරාධ විමර්ශන වල නිරතවය.
සිය දියණියගේ උපන්දින සාදය පැවති හෝටලයට ඩුබායි පොලිසිය පැන මධූෂ් ඇතුළු 31 දෙනෙක් අල්ලා ගෙන ඒ අයව විටෙන් විට මෙරටට පිටුවහල් කරනු ලබන්නේ 2019 වසරේදීය.
ඒ අතර කංජිපානි ඉම්රාන් ඇතුළු පාතාලයේ අපරාධකරුවන් රොත්තක්ද, ජනප්‍රිය ගායකයෙක් ද ඔහුගේ පුතා ද බන්ධනාගාර නිලධාරියෙක් ද, රංගන ශිල්පියෙක් ද සිටියේය.
මාකඳුරේ මධුෂ්ව මෙරටට ගෙන එන්නේ අවසානයටය.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක් ඩුබායි ගොසිනි. 2019 වසරේ පෙබරවාරි 05 වෙනිදා ඩුබායි පොලිසිය විසින් අල්ලාගත් මධුෂ් ව මෙරටට කුදලා ගෙන එන්නේ හරියටම මාසයකට පසුවය.
ඒ මැයි 05 වෙනිදාය. අනතුරුව වසරට වැඩි කාලයක් රැඳවුම් නියෝගයකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ඔහුගෙන් ප්‍රශ්න කළ ද ගිනි අවියක් දෙකක් හැරුණු කොට වෙන කිසිවක් මධුෂ්ගෙන් සොයා ගැනීමට ඉඩක් නොවීය.
අඩුම තරමින් මධුෂ්ගේ දේපොළ වලට වූ දෙයක් ද අනාවරණය නොවීය.
ඩුබායි සිට මධුෂ්ව මෙරටට රැගෙන ඒමට පෙර ඔහුට ඇතැයි කියා පොලිසිය තරු පන්තියේ හෝටලයට පවා වූ දෙයක් නැත.
අවසානයේදී සිදුවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි මධුෂ්ව කොළඹ අපරාධ කොට්ඨාසයට භාරගැනීමෙන් කෙටි දිනක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සොයා ගන්නට නොහැකි වූ කිලෝ ගාණක මත්කුඩු තොගයක් ද සොයාගෙන ඉතිරි මත්කුඩු තොගය සොයා ගැනීමට යමින් සිටියදී නාඳුනන පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මරුමුවට පත්වන්නේ මාළිගාවත්තේ තට්ටු නිවාස සංකීර්ණයක් තුළදීය.
පොලිසිය බලා සිටියදී මධුෂ්ට වෙඩි තැබූ ඒ වෙඩික්කරු අදටත් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව නැත. ඒ වෙඩික්කරුවන් හොඳින්ම දන්නා කියන අයෙක් වන්නේ ප්‍රංශයට පැන්න පොලිස් පරීක්ෂකවරයාය.
බුද්ධි අංශ නම් විශ්වාස කරනු ලබන්නේ ඔහු ප්‍රංශයට පැන්නේ කංජිපානි සමඟ සම්බන්ධකමක් ගොඩනඟාගෙන බවය.
දැන් ප්‍රංශයේ රැඳී සිටින ඔහුව නඩත්තු කරන්නේ යැයි කියැවෙන්නේ ද කංජිපානිය. කැරොකේ වසන්තගේ ඝාතනයත් සමඟ පොලිස් නිලධාරීන් රැසකට ජීවිත තර්ජන එල්ලවී ඇති බව පවා කියැවෙන්නේ ඒ නිසාය.
ඩුබායි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු කංජිපානි ඉම්රාන් නැවත රටින් පනින්නේ 2020 වසරේදීය. මේ කාලය තුළ ලොකු ගේමකට කංජිපානි ඉම්රාන් අත තබා තිබුණේ නැත.
මෝදර මට්ටක්කුලිය ආශ්‍රිතව පමණක් ඔහුගේ පාතාල ක්‍රියාකාරකම් සිදු විය. ඒ සිය පියා මරා දැමීමට තැත් කළ අයට පහරදෙමිනි.
එය කංජිපානිට පාතාලයේ ලොකු හයියක් නැවත ගොඩනඟා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවීය. උණ්ඩයේ නම ගසා හිතා ගන්න බැරි ගේමක් කංජිපානි ගස්සවන්නේ පොලිස් පරීක්ෂකවරයා ප්‍රංශයට පැන ගිය පසු බව අමතක නොකළ යුතුය.
භයානක තත්ත්වය වන්නේ ඔහු දැන් කංජිපානි ඉම්රාන් සමඟ සිටින බව කියැවෙන බැවිනි. පොලිසියේ ඇතැම් උදවියට පවා තර්ජනයක් එල්ලවී ඇත්තේ ඒ නිසාය.
එහි ප්‍රතිඵලයක් ලෙස පොලිස් පරීක්ෂකවරයාගේ මඟ යමින් ඇතැම් තවත් පොලිස් නිලධාරීන් දෙතුන් දෙනෙක් වැඩිකල් නොගොස් ප්‍රංශයෙන් මතු වුවහොත් ඒ ගැන පුදුම විය යුතු ද නැත.
බුද්ධි අංශ මෙන්ම පොලිස් විමර්ශන ඔස්සේ පෙනී ගොස් ඇති ආකාරයට අනුව කැරොකේ වසන්ත ඝාතනයේ මහ මොළකරු ලෙස සැලකෙන්නේ කංජිපානි ඉම්රාන්ය.
මෙම ප්‍රහාරය සැලසුම් කිරීම වෙනුවෙන් ඔහු විශාල මුදලක් වියදම් කර ඇති බව ද පෙනී ගොස් ඇත. “කුඩු කාරයන්ට සල්ලි වලින් කරන්න දෙයක් නැහැ. ඒ නිසා උන් සල්ලි වියදම් කරල අපේ මිනිස්සුත් අල්ලා ගන්නවා. කීය කීවත් දෙනවා.
අන්තිමට උන්ගෙන් අපේ අයටත් ගැලවෙන්න විදිහක් නැති වෙනවා. උන් කියන දේවල් කරන්න වෙනවා.“ යැයි බුද්ධි අංශ නිලධාරියෙක් ඒ ගැන පැවසුවේ එවන් කතාවකි.
විමර්ශනවලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව කැරොකේ වසන්ත ඝාතනය කංජිපානිගේ කොන්ත්‍රාත්තුවට සහ සැලසුමට අනුව මෙහෙයවා ඇත්තේ ලොකු පැටීය.
මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධාන ගෝලයෙක් වන ලොකු පැටී මේ වැඩේට යොදා ගන්නේ මේ වන විට මධුෂ්ගේ කැඩී ගිය කණ්ඩායම එකතු කර ගැනීමට හයියක් ඇත්තේ ලොකු පැටීට බවට වූ විශ්වාසය පදනම් කරගෙනය.
මධුෂ් ඩුබායි පොලිසියට හසුවන්නට පෙර පාතාලයේ රජවරුන් ලෙස සිටි ලොකු පැටීට නැවතත් පාතාලයේ රජ වෙන්නට මෙය හොඳ අවස්ථාවක් බව වටහා ගෙන ඔහු වැඩේ භාරගෙන ඇති බව බුද්ධි අංශ කණ්ඩායම් කිහිපයක්ම විවිධ පැතිකඩ ඔස්සේ සිදුකරන විමර්ශනවලින් පෙනී ගොස් හමාරය.
මෙහිදී කැරොකේ වසන්තව ම කංජිපානි ඉම්රාන් ඇතුළු පිරිස ඉලක්ක කරගන්නේ මාකඳුරේ මධූෂ්ව මරා දැමුවේ කැරොකේ වසන්ත නිසා නොව කැරොකේ වසන්ත මධුෂ්ගේ සමීපතයෙකි.
මධුෂ්ව ඩුබායි පොලිසියට අල්ලා දීම පිටුපස ද කැරොකේ වසන්ත නොවීය. මත්කුඩු ආරවුලක් මුල්කරගෙන මධුෂ්ව ඩුබායි පොලිසියට අල්ලා දෙන්නේ කිරුලපන මොරිල්ය. ඔහුට අන්නාසි මොරිල් යැයි කියා ද කියයි.
ඩුබායි පොලිසියට මධුෂ් හසුවන විට ඔහු ඩුබායි මෙන්ම මෙරටද විශාල ලෙස ව්‍යාපාර හා ඉඩකඩම් මිලදී ගැනීමට මුදල් ආයෝජනය කර තිබුණු බව එකල කියැවිණී.
ඒවා කිසිදු විමර්ශන කණ්ඩායමක් නිල වශයෙන් හෝ නිල නොවන වශයෙන් ප්‍රතික්ෂේප කළේ ද නැත. මධුෂ් ඩුබායි පොලිසියට හසුවීමට පෙර අලුත්කඩේ අධිකරණය ආසන්නයේ ඇති වත්තකදී වෙඩි තබා මරා දමන ව්‍යාපාරික රිස්ඛාන්ද මධුෂ්ගේ මුදල්වලින් ආයෝජන සිදුකළ ව්‍යාපාරිකයෙකි.
ඩ්‍රොප් මී යැයි සඳහන් කුලී රථ සමාගම මධූෂ්ගේ මුදල්වලින් ආරම්භ කරනු ලැබුවේ ඔහුය. එම කුලී රථ සමාගමේ වැලිසර ප්‍රධාන කාර්යාලය පවා විවෘත කරන්නට අවේ දේශපාලනඥයන්ය.
වෙඩි තබා ඔහුව ඝාතනය කරනු ලබන්නේ එම විවෘත කිරීමෙන් දින කිහිපයකට පසුවය. රිස්ඛාන්ව මරා දැමූ තැන රිස්ඛාන්ගේ ඝාතකයා වූ කොස් මල්ලීගේ හිස ගෙනවැත් තැබීමට තරම් මධුෂ් සහසික වී තිබුණි.
දකුණේ දී දසවද දී මරා දමන කොස් මල්ලී ගේ හිස පමණක් අලුත්කඩේට රැගෙන විත් මධුෂ් බලය පෙන්නුවේය.
ව්‍යාපාරික රිෂ්ඛාන් ව මධුෂ් දැන හඳුනා ගන්නේ කංජිපානි ඉම්රාන් මඟිනි. මධුෂ් ව්‍යාපාරවල ආයෝජනය කළ මුදල් වලින් කොටසක් කංජිපානිට ද අයත්ය.
රිස්ඛාන්ගේ ව්‍යාපාරවල ආයෝජනය කළ මුදල් අතර ද කංජිපානි ඉම්රාන්ගේ මුදල් ද තිබුණේය. මධුෂ් ඩුබායි සිටියදී රිස්ඛාන්ගේ ව්‍යාපාරවල මෙන්ම කැරොකේ වසන්තගේ ව්‍යාපාරවල ද මුදල් ආයෝජනය කර ඇත.
කොතරම් මුදලක් ආයෝජනය කර තිබේදැයි පැහැදිලිව මෙතෙක් අනාවරණය වී නැතත් එම ප්‍රමාණය සුළුපටු නැති බව කියැවේ. මධුෂ්ගේ ඝාතනයෙන් පසු ඒ අයෝජනවලින් ලැබෙන ලාභයෙන් කොටසක්වත් මධුෂ්ගේ බිරිය හෝ දරුවන්ට වත් ලැබුණේ නැත.
අඩුම තරමින් සම ආයෝජකයා වූ කංජිපානිටවත් තඹ සතේක දෙයක් ලැබුණේ නැත. කැරොකේ වසන්තට මාරයා අඬ ගසන්නට පටන් ගත්තේ යැයි සැලකෙන්නේ ඒත් එක්කමය.
මාකඳුරේ මධුෂ් පාතාලයේ ප්‍රබලයෙක් ලෙස කුප්‍රකට වෙමින් ගොඩ් ෆාදර් ලෙස ඉදිරියට එන්නේ 2017 වසරේ පෙබරවාරි 27 වෙනිදා අංගොඩ ලොක්කා ඇතුළු පිරිසක් යොදා කළුතර එතනමඬලේදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කර සමයං ඇතුළු 07 දෙනෙක් ඝාතනය කරමිනි.
අනතුරුව සිය බිරියගේ දොළ දුක සමනය කරමින් එම වසරේදීම මැයි මාසයේ 09 වෙනිදා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට පිළියන්දලදී වෙඩි තබා මරා දමන්නට උත්සාහ ගන්නේ කැරොකේ වසන්ත ඝාතන සැලසුම ක්‍රියාත්මක කළ ආකාරයේම පාතාලයේ ලොකු සැලසුමකට අනුවය.
එදා නියෝමාල් රංගජීවට වෙඩි තැබුවේ කොන්ත්‍රාත් ඝාතකයෙක් වූ ආමි අසිතය. අදටත් ඔහු සිටින්නේ නිදැල්ලේය. ඒ ඉන්දියාවට පැන ගොසිනි.
ආමි අසිතව යතුරුපැදියේ තබාගෙන ඉලක්කය වෙත රැගෙන එන්නේ පොඩි පැටීය. ඒ කැරොකේ වසන්තගේ ඝාතනය කංජිපානිගේ කොන්ත්‍රාත්තුවට අනුව මෙහෙයැවූ ලොකු පැටීගේ සහෝදරයාය.
එදා බන්ධනාගාර බස් රථයටත් රංගජීවටත් වෙඩි තබා පාතාලයේ වැඩි බලයක් අල්ලා ගත් මාකඳුරේ මධුෂ් පාතාල ලෝකයේ හැමෝගේම අයියා බවට පත්විය.
විසිරී සිටි මධුෂ්ගේ ගෝලබාලයන් රැස් කරගෙන කැරොකේ වසන්තට පාතාලයේ එතෙක් මෙතෙක් නොගැසූ තරමේ ගේමක් කංජිපානි ඉම්රාන් ගසන්නේ මධුෂ්ගේ තැනට එන්නටය.
මෙම ගේමත් සමඟ මධුෂ්ගේ අතුරුදන්වූ කෝටි ප්‍රකෝටි ගණනක් වටිනා දේපොළවල ද පාලනය හිමි වන්නේ කංජිපානිටය.
සිය බලය යොදාගෙන යමෙක් නීතියට වහන්වී එම දේපොළ අල්ලාගෙන සිටී නම් ඒ අයට ද දැන් සිදු වන්නේ ඒවා අතහැර දමන්නටය. කැරොකේ වසන්තට වෙඩි පත්තු කරමින් කංජිපානි ඒ දෙන්නේ එම පණිවුඩයයි.
මෙතෙක් කර ඇති පොලිස් විමර්ශන හා බුද්ධි අංශයේ සොයා ගැනීම්වලට අනුව ලොකු පැටී සමඟ මෙම ගේම මෙහෙයවා ඇති අය අතර රොටුඹ අමිල සහ උනාකූරුවේ ශාන්ත ද සිට ඇත.
මේ තිදෙනාම සිටින්නේ ඩුබායිවලය. හැම දෙයක්ම මෙහෙයවා ඇත්තේ යැයි හෙළි වන්නේ ඩුබායි සිට දුරකතනයෙනි.
උනාකූරුවේ ශාන්ත පාතාලයේ ලොකු චරියක් නොවන බව පාතාල අපරාධ විමර්ශන අංශවල නිලධාරිහු පවසති.
මිනුවන්ගොඩ හොල්ලා ගෙන සිටි පාතාල අපරාධකරුවෙක් වූ ආමි අජිත්ගේ ගෝලයෙක් ලෙස උනාකූරුවේ ශාන්ත පාතාලයට වැටී සිටියෙකි.
2014 වසරේ පෙබරවාරි 05 වෙනිදා ආමි අජිත් දික්වැල්ලේදී ඔහුගේ ගෝලයෙක් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මරුමුවට පත්වීමෙන් අනතුරුව උනාකූරුවේ ශාන්ත ඉන්න හිටින තැනක්වත් සොයාගන්නට ලැබී නැත.
වසර ගණනාවකට පසු උනාකූරුවේ ශාන්තගේ නම පාතාල අපරාධකරුවෙක් ලෙස එළියට එන්නේ කැරොකේ වසන්තගේ ඝාතනයත් සමඟිනි.
උනාකූරුවේ ශාන්ත මෙන් නොව සේපාල රත්නායකගේ ගෝලයෙක් වන අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල පාතාලයේ කුප්‍රකට චරිතයකි.
මාකඳුරේ මධුෂ්ගේ ඩුබායි සාදයේදී පවා ඔහු එරට පොලිස් අත්අඩංගුවට පත්වූවත් 31 දෙනා අතර සිටියේය. මාකඳුරේ මධුෂ්ට පවා පාතාල අපරාධ ලෝකයට පිවිසෙන්නට පාර කියා දුන්නේ යැයි කියැවෙන්නේ ද රොටුඹ අමිල විසිනි.
ඔහුට එකල ඌරුබොක්ක හා කඹුරුපිටිය යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරු මාරු කරන්නටත් පත්කරන්නටත් පවා ලොකු දේශපාලන බලයක් ද තිබී ඇත.
මධුෂ්ගේ කීමට ඌරුබොක්කේ ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කළ යුද හමුදාවෙන් පලාවිත් සිටින සෙබළෙක් ද වන රොටුඹ අමිල මුල්වරට ඩුබායි පනින්නේ 2017 වසරේ අගොස්තු 07 වෙනිදාය.
ඒ ගොස් මාස දෙකක් යන්නට මත්තෙන් මධුෂ් විසින් ඔහුට ඩුබායි හි රැඳී සිටීමට නේවාසික වීසා පවා සකස් කර දී තිබුණේය.
ඩුබායි පොලිසියට හසුවන විට ඔහු සිටියේ මධුෂ්ගේ නිවෙසේ අරක්කැමියා ලෙසිනි. මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් ඔහුව ඩුබායි සිට පිටුවහල් කර මෙරටට එවන්නේ කංජිපානි ඉම්රාන් සමඟිනි.
ඩුබායි සිට කටුනායක දක්වා එන ගමනේදී කංජිපානි කටුනායක ගුවන්තොටුපොෙළ් සිට මාලදිවයිනට පනින්නට සැලසුම් කර තිබුණේද රොටුඹ අමිල සමඟ එක්වය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපොළ ඒකකය විසින් එදා කංජිපානිව අල්ලා බාර දෙන්නේ කොළඹ අපරාධ කොට්ඨාශයටය.
රොටුඹ අමිලව භාර දෙන්නේ මාතරටය. ටික කලක් බන්ධනාගාරගතව සිටි රොටුඹ අමිල ඇප මත නිදහස ලැබීමෙන් අනතුරුව නැවත ඩුබායි පනින්නේ පැදුරටත් නොකියාය.
රොටඹු අමිලගේ නම නැවතත් පාතාලයේ අපරාධකරුවෙක් ලෙස කියැවෙන්නට ගන්නේ ද කැරොකේ වසන්තගේ ඝාතනයත් සමඟිනි.
කැරොකේ වසන්තගේ ඝාතන සැලසුමේ සිටින බොහෝ අයව මේ වන විට විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කර ගත්ත ද වෙඩික්කරුවන් කවුරුන්දැයි තවමත් ඇත්තේ අබිරහසක් ලෙසිනි.
ආරක්ෂක කැමරාවල පැහැදිලිවම වෙඩික්කරුවන්ගේ හැසිරීම සටහන්ව ඇති බැවින් එම දර්ශන නිරීක්ෂණය කරමින් විමර්ශන නිලධාරීන් සැක කරනුයේ බොහෝ විට එම වෙඩික්කරුවන් හමුදා පුහුණුව ලැබූ අය බවය.
ඇතැම් විට ඔවුන් හමුදා සේවයේ දැනට සිටින හෝ සේවයෙන් ඉවත්ව සිටින්නන් විය හැකි බවට සැකයක් ද මතුව ඇත. එම වෙඩික්කරුවන් දෙදෙනා කැරොකේ වසන්ත ඉලක්කර වෙඩි පිට වෙඩි තබා පලායන්නේ ද මේසයක් මත වූ කෙසෙල් ගෙඩියක් ද රැගෙනය.
ඒ තුළින් පැහැදිලි වන්නේ වෙඩික්කරුවන් ඉතා සැහැල්ලුවෙන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවය. මෙසේ හැසිරෙන්නට හැකියාව ඇත්තේ පුහුණුව ලැබූ වෙඩික්කරුවකුට බව විමර්ශන නිලධාරීන්ගේ අනුමානය වී තිබේ.
කැරොකේ වසන්ත ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුවන්නේ අතුරුගිරිය නගර මධ්‍යයේ කඩුවෙල පාරේ පිහිටි දෙමහල් ගොඩනැඟිල්ලක ඉහළ මහලයේය.
මෙහි කලකට පෙර පැවතියේ සයොනාරා නැමැති රූපලාවණ්‍යාගාරයකි. අතුරුගිරිය හොල්ලා ගෙන සිටි පාතාලයේ අපරාධකරුවෙක් වූ ටනිල් බණ්ඩාර නොහොත් අතුරුගිරියේ බණ්ඩා නැමැති අයව වෙඩි තබා මරා දමන්නේ ද එම රූපලාවණ්‍යාගාරයේදීය.
ඒ 2017 වසරේ ජනවාරි 17 වෙනිදාය. එම ඝාතන සැලසුම ක්‍රියාත්මක කරනු ලබන්නේ බන්ධනාගාරගතව සිටි කඩුවෙල සමයං නැමැති පාතාල අපරාධකරුය.
ඝාතනය වූ බණ්ඩා නැමැත්තා අංගොඩ ලොක්කා නැමැති පාතාලයේ ප්‍රබලයාගේ ගෝලයෙකි. අංගොඩ ලොක්කා මත්කුඩු ජාවාරමේ නිරතව සිටියේ මධුෂ් සමඟිනි.
කළුතර බන්ධනාගාර බස් රථ ප්‍රහාරය මධුෂ් සැලසුම් කරනු ලබන්නේ එබැවිනි. සයොනාරා රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිනිය වූ රූපලාවණ්‍ය ශිල්පිනී මංජුලා සඳුනි නැමැත්තියට ද ඒත් සමඟම වැඩි කල් ආයුෂ නොවීය.
කොට්ටාව රුක්මලේ පිහිටි නිවෙසකදී ඇය වෙඩි ප්‍රහාරයකින් ඝාතනය වන්නේ එම වසරේම නොවැම්බර් 30 වෙනිදාය.
අතුරුගිරියේ බණ්ඩාගේ ඝාතනයෙන් පසු කාලයක් වසා දමා තිබුණු සයොනාරා රූපලාවණ්‍යාගාරය පිහිටි කාමර කැබැල්ල තුළ විවිධ ව්‍යාපාර ඇරඹුණත් ඒ සියල්ල එතරම් සාර්ථක වූයේ නැත.
එතැනට අලුතින් එන ව්‍යාපාරය වන්නේ “ යුනිට් ටැටූ ඇන්ඩ් ක්ලියරින් ස්ටූඩියෝ“ නැමැති ටැටූ ආශිත ව්‍යාපාරයකි. එහි හිමිකරු වූයේ දුලාන් සංජුල සිල්වාය. විසි අට හැවිරිදි වියේ පසු වූ එම තරුණයා අහුංගල්ල ශ්‍රී ගුණානන්ද මාවත, මොහොට්ටියා වත්තේ පදිංචිකරුවෙකි.
ටැටූ ශිල්පියෙක් මෙන්ම ධීවර කාර්මිකයෙක් වූ ඔහු මේ තැනේ ටැටූ ව්‍යාපාරික ස්ථානයක් ආරම්භ කරනු ලබන්නේ ලොකු පැටීගේ සැලසුමකට අනුවය.
ලොකු පැටී මෙම තරුණයා යොදවා සැලසුම් කරනු ලබන්නේ මෙම ව්‍යාපාරික ස්ථානය විවෘත කිරීමේ උත්සවයට කැරොකේ වසන්තව ගෙන්වා ඔහුට වෙඩි තබා මරා දමන්නටය.
පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති ආකාරයට අනුව මෙම තරුණයාගේ මව මත්කුඩු ජාවාරමට සම්බන්ධ තැනැත්තියකි. ඇය අලෙවි කරනු ලබන්නේ ලොකු පැටීගේ මත්කුඩුය.
ඒ ඔස්සේ තරුණයා ද ලොකු පැටී දැන සිටියත් ටැටූ ව්‍යාපාරික ස්ථානයක් ආරම්භ කිරීමට මෙම තරුණයාව පොලඹවන්නේ ඔහුගේ මිතුරෙක් මගිනි.
මහේෂ් ධනුෂ්කද සිල්වා නැමැති යුද හමුදා සේවයේ නිරතව සිටි සෙබළෙකි. දුලාන් සංජුලගේ අසල්වැසියෙක් වූ මහේෂ් අවුරුදු 26ක තරුණයෙකි.
රත්මලාන ඉංජිනේරු බළකා කඳවුරේ ඔහු සේවය කර ඇත්තේ මලල ක්‍රීඩකයකු ලෙසිනි. මේ වන විට හමුදා සේවයෙන් නීත්‍යනුකූලව ඉවත්ව සිටින ඔහු ලොකු පැටීගේ සමීපතමයෙකි.
ලොකු පැටීගේ සැලසුමට අනුව ටැටූ ව්‍යාපාරික ස්ථානයක් ආරම්භ කිරීමට දුලාන් සංජුවලව පොලඹවන ඔහු ඒ සඳහා විටෙන් විට මුදල් ද ලක්ෂ ගණනින් ලබා දුන්නේය.
ඒ හැම මුදලක්ම ලොකු පැටී ඩුබායි සිට එවූ කුඩු සල්ලිය. අතුරුගිරියේ කඩ කාමරය කුලියට ගැනීමටත්, ටැටූ උපකරණ ගැනීමටත්, කඩ කාමරය හැඩවැඩ කරන්නටත් රුපියල් ලක්ෂ 16ක පමණ මුදලක් විටෙන් විට දුලාන් සංජුලගේ අතට ලැබී තිබුණේය.
දුලාන් සංජුල සැලසුම් කරනුයේ ඔහු දන්නා කියන ගායිකාවක් වූ කේ. සුජීවා ගෙන්වා ගෙන සිය ව්‍යාපාරික ස්ථානය විවෘත කරන්නටය. එහෙත් ඊට ලොකු පැටීගෙන් ඉඩක් නොවීය.
දුලාන් සංජුලට ඔහු බල කරනු ලබන්නේ කැරොකේ වසන්තව ගෙන්වන ලෙසය. ඒ තුළින් ලොකු ප්‍රසිද්ධියක් ගැනීමට හැකි බව කියා දුලාන් සංජුලව අන්දවා සිය අරමුණ වෙනුවෙන් ඔහුව මෙහෙයවන්නට විය.
ලොකු පැටීගේ සැලසුම ගැන කිසිවක් නොදත් දුලාන් සංජුල තමා දන්නා සියලු ශිල්පය යොදා කැරොකේ වසන්තව සිය ව්‍යාපාරික ස්ථානය විවෘත කිරීමේ උත්සවයට ගෙන්වා ගැනීමට සමත් විය.
කැරොකේ වසන්ත ඒ එන්නේ සිය බිරිය මැණික් ද සමඟිනි. ඒ අතර ඔහු කේ. සුජීවාට ද ආරධනා කර තිබුණේය. සුජිවා එන්නේ සිය සැමියා සමඟිනි.
ඒ පැමිණි ඔවුන් පොල්තෙල් පහන් දල්වා ව්‍යාපාරික ස්ථානයේ වැඩ කටයුතු පසුගිය 08 වෙනිදා නැකතට ආරම්භකර කිරිබත් කැබැල්ලක රස බලමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙක් ටී 56 අවි දෙකක් අමෝරාගෙන කඩා වදින්නේ මෙම ස්ථානයටය.
ඒ පැමිණි ඔවුන් කෙළින්ම ඉලක්ක කරන්නේ කිරිබත් කැබැල්ලක් ඉතා යුහුසුළුව රස බලමින් සිටි කැරොකේ වසන්ත ඉලක්ක කරගෙනය.
එක් වෙඩික්කරුවෙක් දිගට හරහට ටී 56 අවියෙන් වෙඩි වරුසාවක් වසන්ත වෙත එල්ල කරන විට කටේ කිරිබත් කැබැල්ල සිර කරගෙන වසන්ත වාඩිවී සිටි අසුනේ පැත්තට වැටෙන්නේ සිය ජීවිතයේ අවසන් හුස්ම පොද හෙළමිනි.
ඒ අතර දෙවැනි වෙඩික්කරු කිට්ටුවට පැමිණ තවත් වෙඩි කිහිපයක් තබන්නේ වැටී සිටි ඔහුගේ සිරුර පෙනේරයක් බවට පත්කරමිනි.
මෙම වෙඩි ප්‍රහාරය එල්ල වන විට වසන්තගේ බිරිය මැණික් මෙන්ම කේ. සුජීවාත් ඇගේ සැමියා වූ වාසුල විජේසූරියත් සිටින්නේ වසන්තගේ කිට්ටුවමය.
වෙඩික්කරුවන් විසින් එල්ල කළ වෙඩි වරුෂාවෙන් ඔවුන්ට ද ගැලවිල්ලක් නොවීය.
කේ. සුජීවාගේ පාදයකට වෙඩි වදින විට වාසුලගේ සිරුර පසාරු කරගෙන වෙඩි උණ්ඩයක් ගමන් කරනු ලබන්නේ ඔහුගේ ජීවන ගමන ද එතැනින් හමාර කරමිනි.
මේ හැරුණු කොට දුලාන් සංජුලගේ බිරියට ද වෙඩි වැදී තිබුණි. ඇයත් වසන්තගේ බිරිය මැණිකුත් මේ වන විට සිටින්නේ ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නිරත වෙමින් දැඩි සත්කාර ඒකකවලය.
වෙඩික්කරුවන් සැහැල්ලුවෙන් සිය ඉලක්කය ලබාගෙන මෝටර් රථයේ නැඟී පලා යන්නේ කඩුවෙල දෙසටය. ඒ ගොස් අතර මඟින් මෝටර් රථය අතහැර දමා පලා යන්නේ වෑන් රථයක නැඟීය.
එම වෑන් රථයත් බුලත්සිංහල පැත්තේදී අතහැර දමා යන්නේ කල්තියා සිදු කළ සැලසුමකට අනුවය. මේ වන විට වෙඩික්කරුවන්ට වූ දෙයක් නැත.
ඔවුහු බොහෝ විට දකුණේ අය විය යුතු යැයි සැක කරති. පොලිසිය විසින් මේ වන විට මෙම ඝාතනයේ ප්‍රධාන අපරාධකරුවන් කොටු කරගෙන නැතත් දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙම අපරාධයට ආධාර හා අනුබල දීමේ චෝදනා මත 07 දෙනෙක් අත්අඩංගුවට ගත්තේය.
ඒ අය අතර දුලාන් ද සිටියි. ඔහුගේ තොරතුරු මත මහේෂ් අත්අඩංගුවට ගත් පොලිසිය ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමෙන් හෙළි කරගන්නේ වෙඩික්කරුවන් ගමන් ගත් මෝටර් රථය ගැන තොරතුරුය.
මහේෂ් පවසන්නේ ලොකු පැටීගේ උපදෙස් මත තමා මිතුරෙක් සමඟ එක්ව අහුංගල්ලේ සිට මෝටර් රථය අතුරුගිරිය ගල්පොත්ත පාරට රැගෙන ගොස් අලුයම 3.00ට පමණ පුද්ගලයකුට භාරදුන් බවය.
ඒ පුද්ගලයා මෙතෙක් කොටු කරගෙන නැත. පොලිසිය විසින් මෙහිදී මහේෂ් සමඟ මෝටර් රථය අතුරුගිරියට රැගෙන යාමට සම්බන්ධ වූ පුද්ගලයාවත් අත්අඩංගුවට ගත්තේය. එම පුද්ගලයා අහුංගල්ලේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වෑන් රථය සිය නිවසේ මාස එකහාමාරක් තිස්සේ තබාගෙන සිටියෙක්ද සිටින බව පොලිස් තොරතුරු සඳහන් කරයි.
වෘත්තියෙන් ත්‍රීරෝද රථ රියැදුරෙක් වන ඔහු පොලියට මුදල් දෙන්නෙකි.
බුලත්සිංහල අතහැරගොස් තිබුණු වෑන් රථය රූපවාහිනී ප්‍රවෘත්ති මඟින් විකාශය කරන විට දුටු ඔහුගේ බිරිඳ ඒ සිය නිවසේ තිබුණු රථය බව හඳුනාගෙන සැමියාට පවසා ඇත්තේ ඒ ගැන පොලිසියට පවසන ලෙසය.
ඒ අනුව ඔහු පොලිසියට වෑන් රථය ගැන කියා තිබුණේ පොලිස් අත්අඩංගුවටද පත්වෙමිනි.
වෑන් රථය ඔහුගේ ගෙවත්තට රැගෙන විත් නවතා තිබී ඇත්තේ ඔහු දන්නා කියන සීසර්වරයෙකි. පොලිසිය ඔහුව ද අත්අඩංගුවට ගත්තේය.
එම සීසර්වරයාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වන්නේ මාස එකහ මාරකට පෙර උනාකූරුවේ ශාන්ත විසින් ලබාදුන් දුරකතන ඇමතුමකට අනුව වෑන් රථය පනාගොඩ යුද හමුදා කඳවුර අසල නවතා තිබියදී තමන් විසින් රැගෙන ආ බවය.
එම රථය එහි නතර කර තිබී ඇත්තේ යතුර වෑන් රථයේ තබාය. ඒ රැගෙන පැමිණි රථය බෙලිඅත්තෙන් එළියට ගෙන ඇත්තේ පසුගිය 06 වෙනිදාය.
තංගල්ලට රැගෙන ගිය එම රථය එහිදී භාරගෙන ඇත්තේ තවත් සීසර්වරයෙකි. සීසර්වරයාගෙන් එම රථය ලබාගත් අය තවමත් සිටින්නේ නිදැල්ලේය.
සීසර්වරු දෙදෙනාව මෙහෙයවා ඇත්තේ උනාකූරුවේ ශාන්ත, රොටඹ අමිල ය. ඒ අයට මදි නොකියන්න විටෙන් විට ලොකු පැටී විසින් මුදල් ද ලබාදී ඇත.
පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව සීසර්වරුන්ට ලබාදී ඇති මුදල ලක්ෂ 20කට වැඩිය. ඒ මේ වැඩේම ඉලක්ක කරගෙන නොව කාලයක් තිස්සේය.
ඒ කවදා හෝ ඔවුන්ගෙන් වැඩ ගැනීමේ අපේක්ෂාව ඇතිවය. පාතාලයෙන් යැපෙන මෙවැනි විශාල පිරිසක් මේ වන විට සිටින බව මෙන්ම කැරොකේ වසන්ත ඝාතනය පිටුපස ද මෙතෙක් හෙළි නොවූ තවත් එවන් පිරිසක් සිටිය හැකි බවත් විමර්ශන නිලධාරීහු සැක කරති.
ඒ අයව මෙන්ම වෙඩික්කරුවන්ව හදුනාගෙන අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වන විට සිය උපරිම ශක්තිය යොදා හමාරය. ඒ වෙඩික්කරුවන්ට රටින් පැන යන්නට ඇති ඉඩකඩ ද අහුරමිනි.
කැරොකේ වසන්තගේ සැඟවුණු කතාව
රාජපක්ෂ දොන් සුරේන් වසන්ත පෙරේරා නොහොත් කැරොකෙ වසන්ත නුවරඑළියේ ජීවත්වූ සාමාන්‍ය පවුලක සාමාජිකයෙකි. ඔහුගේ මව භූතානි ව්‍යාපාර ජාලයේ හිමිකරු යටතේ සාමාන්‍ය රැකියාවක ද නිරත වූ තැනැත්තියක් බව තතු දත්තෝ පවසති.
කියැවෙන ආකාරයට අනුව ඔහු අධ්‍යාපනය ලබා ඇත්තේ නුවරඑළියේ ගාමිණි විද්‍යාලයෙනි. අධ්‍යාපනයට එතරම් උනන්දුවක් නොවූ තැනැත්තෙක් වූ වසන්ත පෙරේරා උසස් අධ්‍යාපනයක් පවා ලැබූවෙක් නොවීය. එහෙත් කුඩා කල සිටම ඔහු මුදල් ගනුදෙනුවලට දක්ෂයෙකි.
කඩචෝරු කන්නට නිවෙසින් ලැබෙන සුළු මුදල පවා ඔහු මිතුරන්ට පොලියට දුන්නෙකි.
වසන්ත පෙරේරාගේ ජීවිතය යම් වෙනසකට ලක්වන්නේ ජපානයේ රැකියාවක් සඳහා පිටත්ව යාමෙන් අනතුරුවය. වසර ගණනාවක් ජපානයේ රැකියාවක නිරතව සිටි වසන්ත නැවත මෙරටට පැමිණීමෙන් අනතුරුව සන්හිල් නමින් නුවරඑළියේ අවන්හලක් විවෘත කරනු ලබන්නේ දුක් මහන්සියෙන් එකතු කරගෙන පැමිණි ලොකු මුදලක් ඒ සඳහා ආයෝජනය කරමිනි.
ජපානයේදී ඔහු ලද ඇතැම් අත්දැකීම් ද සමඟින් ඇරඹි සන්හිල් අවන්හල වැඩි කලක් යන්නට මත්තෙන් නුවරඑළියේ ප්‍රසිද්ධ අවන්හලක් බවට පත්වන්නේ ඔහුට ද සිතාගන්නට බැරි තරමටය.
වසන්ත පෙරේරා කුඩා කල සිට චිත්‍රපට පිස්සෙකි. ඔහු විශේෂයෙන් නිළියන්ට පෙම් බැන්දේය. ඒ නිසාම ඔහු නුවරඑළියේ එකල චිත්‍රපට රූගත කිරීමක් තිබේ නම් ඒ පැත්තේ කරක් ගැසුවේය.
එකල නුවරඑළියේ ජනප්‍රියතම ස්ථානයක් වූයේ බෝඩ් යාඩ් එකය. චිත්‍රපට රූගත කිරීම් බොහොමයක් සිදු වූයේ බෝඩ් යාඩ් එක හා ඒ අවටය.
එහිදී ඔහුට එකල ජනප්‍රිය නළුවෙක් දැන හඳුනා ගැනීමට ලැබෙන්නේ බෝඩ් යාඩ් එකේදීය. චිත්‍රපට අධ්‍යක්ෂණයේ ද නිරත වූ එම නළුවා සමඟ ඇති කරගත් සම්බන්ධය සිය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වෙතැයි වසන්ත සිහිනෙකින්වත් සිතුවේ නැත.
වරක් මේ නළුවා නුවරඑළියේ පිහිටි සන්හීල් අවන්හලට රැගෙන එන්නේ එකල පැවති ආණ්ඩුවේ ප්‍රබල දේශපාලඥයෙකි.
ඇමතිවරයෙක් ද වූ ඔහු චිත්‍රපට නළුවාගේ සමීප හිතවතෙක් ද විය. වසන්ත එදා මේ දේශපාලනඥයාට සලකන්නේ මනදොල පිරෙන්නටය.
කොළඹ බේරේ වැවේ තිබුණු පාවෙන අවන්හල වසන්තට ලැබෙන්නේ එම දේශපාලනඥයා හරහාය. නුවරඑළියේ සිට කොළඹට එන්නට වසන්තට මඟ පෑදෙන්නේ එසේය.
අදාළ දේශපාලනඥයාගේ උවමනා එපාකම් ගැන සොයා බලමින් ඒ හැම දෙයක්ම ඉටු කරමින් සිටි වසන්ත ඔහුගේ විශ්වාසයත් දිනා ගත්තේය.
ඒ නිසාම අදාළ දේශපාලනඥයා වසන්තගේ නමින් ව්‍යාපාර ආරම්භ කිරීමට ලොකු ආයෝජනයක් ද කළේය. කොල්ලුපිටිය මැරීන් ඩ්‍රයිව්හි සන්හිල් නමින් කැරොකේ අවන්හලක් විවෘත වන්නේ ඒත් සමඟිනි.
දැඩි දේශපාලන සම්බන්ධකම් හේතු කොටගෙන බලයෙන් ද මුසපත් වන වසන්ත කැරොකේ අවන්හල් ජාලයක හිමිකරුවෙක් බවට ඒත් එක්කම පත්වූයේය. වසන්තගේ නම ඉදිරිපිට කැරොකේ වසන්ත යැයි කියැවෙන්නට ගත්තේ ඒත් එක්කමය.
ප්‍රභූවරයෙක් ලෙස ඩිෆෙන්ඩර් පිරිවරාගෙන පුද්ගලික ආරක්ෂකයන් සමඟ ගමන් බිමන් යමින් රටේ නීතිය තුට්ටුවකට මායිම් නොකර වසන්ත හැසිරෙන්නට ගන්නේ වැඩි කල් යන්නට මත්තෙන් රටේ ඉහළම දේශපාලනඥයන්ගේ ඇසුරට ද ඔහු පත්වීමත් සමඟිනි.
දේශපාලනඥයන්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් මුදල් බලයෙන් සිය පාලනයට නතු කරගන්නා වසන්ත ඒ ඔස්සේ සමාජයේ කළ හැකි හැම කුප්ප වැඩක්ම කළ බව ඔහුට සමීපතයන් අදටත් පවසති.
වසන්ත විවාහ කිහිපයක් කරගත්තෙකි. ඒ අතර නීත්‍යනුකූල විවාහයන් කීයක් තිබේදැයි ඔහු සමීපයේ සිටි අය ද කියන්නට දන්නේ නැත.
පළමු විවාහය සිදු කරගෙන ඇතැයි පැවසෙන්නේ වරකාපොළිනි. වසන්ත පෙරේරා, සන්හිල් වසන්ත ලෙස භෞතිස්ම ලැබී ගාල කඩාගත්තෙක් ලෙස හැසිරෙන්නට ගැනීමත් සමඟ ඇය ඔහුව අතහැර යන්නේ ඔහුගේ ඇතැම් ක්‍රියා ඉවසා ගැනීමට නොහැකිවය.
අනතුරුව වසන්ත සිය අඹුව බවට පත්කර ගන්නේ පිලිපීන් ජාතික කාන්තාවක් බව පැවසේ. ඇය සිය සැමියා සමඟ වසන්තගේ සන්හීල් කැරොකේ අවන්හල් ජාලයේ සේවයේ නිරත වූ තැනැත්තියකි.
ඇයට හිත බැඳෙන වසන්ත ඇගේ සැමියාව පන්නා දමා ඇයව අඹුකමට ගත්තේ ඇගේ දරුවා ද සමඟින් බව සමීපතමයෝ කියති.
අනතුරුව ඔහු තවත් කතුන් කිහිප දෙනෙකුම සිය අඹුවන් ලෙස තබාගෙන ඇති අතර ඒ හැම අඹුවන්ම තබාගෙන සිට ඇත්තේ එකම නිවෙසකය.
වරක් ඔහු කොළඹ පිහිටි අවන්හලකට ගිය අවස්ථාවකදී හිත බැඳෙන්නේ එහි සේවිකාවක් වෙතය. ඇය එම අවන්හලේ සේවයේ නිරතව සිටින්නේ සිය පෙම්වතා සමඟිනි.
ඇයව තමාගේ කර ගැනීමට සිතක් පහළ වන වසන්ත ඒ යුවළට ආරාධනා කරනු ලබන්නේ ඒ වන විට ඔවුන් ලබන වැටුපට වඩා රුපියල් ලක්ෂයක් වැඩි ලොකු වැටුපකටය.
ඊට වහ වැටෙන එම යුවළ සන්හිල් අවන්හලේ සේවයට ගොස් වැඩි කාලයක් ගියේ නැත. පෙම්වතා පොලිසියට හසුවන්නේ ඔහු නොකළ වරදකටය.
අවසානයේ ඔහු හිරේ ගිය විට ඇයට සිදු වන්නේ වසන්තගේ අඹුව බවට පත්වන්නටය. වසන්ත සිය අරමුණු වෙනුවෙන් ගේම් ගැසුවේ එසේය.
ඝාතනය වන විට වසන්තගේ බිරිය මැණික්ය. ඇයත් වෙඩි වැදී මේ වන විට සිටින්නේ බරපතළ තත්ත්වයෙනි.
තතුදත් තොරතුරු සඳහන් කරන ආකාරයට අනුව මැණික් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ කාන්තාවකි. උපාධිය හිමිකර නොගත් ඇය අධ්‍යාපනය ලබමින් සිටි කාලයේදී වසන්තට සමීප වීම හේතුවෙන් අධ්‍යාපනය බිඳවැටී ඇති බව කියැවෙති.
ඒ යැයි කියා ඇයට වැරදුණේ නැත. වසන්තගේ නරක ගති අතහැර ඔහුව යහමඟට ගැනීමට පසුගිය කාලයේ ලොකුම මෙහෙයක් කර ඇතැයි පැවසෙන්නේ මැණික්ය.
වසන්ත සිය කැරොකේ ව්‍යාපාරය කරගෙන ගියේ යැයි කියැවෙන්නේ අනුන්ගේ මුදල් වලිනි. හෙළි කිරීමට නොහැකි අමුතු ජාතියේ හවුල්කාරයන් වසන්තට සිට ඇත.
ඒ අතර දේශපාලනඥයන් මෙන්ම පාතාල අපරාධකරුවන් ද නැත්තේම නැත. වසන්ත සන්හිල් ගොඩනැඟිල්ලට පවා වරක් ලොකු ණයක් බැංකුවකින් ලබාගෙන තිබුණේය.
එම බැංකුවේ ඉහළ නිලධාරිනියක් සමඟ ඉතා කිට්ටු සම්බන්ධයක් ඇති කරගත් ඔහු ණය මුදල ලබා ගත්තේ ගොඩනැඟිල්ල ඇපයට තබාය.
ඒ ගොඩනැඟිල්ලට නොවටිනා වටිනාකමක් ලබාගෙනය. අවසානයේදී එම නිලධාරිනියට සිදුවන්නේ රැකියාව අහිමිව ගෙදර යන්නටය.
ඒත් එක්කම සන්හීල් ගොඩනැගිල්ලට වෙන්දේසි කරන්නට බැංකුව කටයුතු කළේය. ඒ වසන්ත ඒ වන විට හැම අතින්ම වැටී සිටි බැවිනි.
දේශපාලන බලය, පාතාල බලය මෙන්ම හැම දෙයක්ම ඒ වන විට වසන්තගෙන් ගිලිහී ගොස් තිබුණේය.
මේ නිසාම වසන්තට දේශපාලනඥයන්ගෙන් මෙන්ම පාතාලයෙන්ද තර්ජන ගර්ජන එල්ලවී තිබුණේය. ඒ සිය ව්‍යාපාරවල ආයෝජනය කිරීමට ලබාගත් මුදල් නැවත ලබාදීමට නොහැකිව ඔහු ඒ අයව මඟහරින්නට වූ බැවිනි.
මෙසේ ඔහු බිංදුවට ඇදවැටෙන්නේ කැසිනෝ සූදුවට ඇබ්බැහි වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. එක රැයට ඔහු රුපියල් කෝටි ගණනින් සූදුව නිසාම විනාශ කර ගත්තේය.
විවිධ හේතු නිසා මෙරට කැසිනෝ සමාජ ශාලාවල දොරගුළු වසන්තට වැහෙන විට ඔහු සිංගප්පූරු ගොස් කැසිනෝ ගැසුවේය. වරක් ඔහු රුපියල් කෝටි 10ක්ම පරාජයට පත්වූ බව සඳහන්ය.
මෙසේ සූදුව නිසා ව්‍යාපාර දිය වී යන විට තමා වැටී නැති බව පෙන්වීමට ඔහු නොකළ දෙයක් නැත. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඔහු වෙනත් ආකාරයට එළියට එන්නේ ඒත් සමඟිනි.
ගෝල්ෆේස් අරගලයේ ද සම්පත් දායකයෙක් ලෙස ඔහු පෙනී සිටියේය. එතෙක් කලක් මෙරට තරු පන්තියේ හෝටල් නිවාස සංකීර්ණයක එක් තට්ටුවක්ම කුලියට ගෙන මෙරට සිටින ප්‍රබල දේශපාලඥයන්, කලාකරුවන්, පාතාල අපරාධකරුවන්, ව්‍යාපාරිකයන් ගෙන්වා එකට මුණ ගස්සවමින් සුපිරි සාදයක් පැවැත්වූ ඔහු එම සාදයන්ට පවා නැවතීමේ තිත තබන්නේ ඒත් සමඟිනි.
ඒ වෙනුවට ඔහු සිය 55 වන උපන්දින සාදය පවා මෑතකදී සමරන්නේ තමාට සමීපතම කිහිප දෙනෙක් ගෙන්වාගෙනය.
ජීවිතයේ විඳින්නට ඇති සෑම සැපක්ම හොඳින් මෙන්ම නරකින් ද විඳි වසන්තට ලෝකයේ විවිධ රටවල ව්‍යාපාර ඇතැයි කීවත් සැබෑ ලෙසම ඔහුට එවැනි ව්‍යාපාරයක් කොහේවත් නොමැති බවත් මෙරට තිබෙන ව්‍යාපාර පවා මේ වන විට ඇත්තේ බංකොලොත්භාවයට පත්ව බවත් ඔහුට සමීපතයෝ පවසති.
අඩුම තරමින් තමාගේ බොඩිගාඩ්ලාට පවා පඩි ගෙවා ගැනීමට වසන්තට හැකියාවක් ලැබී නැත. අතුරුගිරියේදී ඔහු වෙඩි කන විට වෙනදා මෙන් ඔහු වටා බොඩි ගාඩ්ලා නොවූයේ එබැවිනි.
මේ තැනට වසන්ත වැටෙන්නේ සුරාව, සූදුව සහ ගැහැනුන්ට ලොල් වීම නිසා බව ඔහුව සමීපව ඇසුරු කළ අයට නම් රහසක් නොවේ.
කංජිපානි ඉම්රාන් කියන්නේ කවුද?
මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන්ගේ පියා මාළිගාවත්තේ සව්කැඳ අලෙවිකරුවෙකි.
කරත්තයක සව්කැඳ රැගෙන ගොස් හන්දියක් හන්දියක් ගානේ යමින් අලෙවි කිරීම්වල නිරතව සිටි ඔහුගේ සහයට ඇතැම් දිනවල ඉම්රාන් ද ගියේය.
සව්කැඳවලට දෙමළ භාෂාවෙන් කියන්නේ කංජිපානි යැයි කියාය. ඒ නිසා මිතුරන් ඔහුට නමක් පටබඳින්නේ කංජිපානි ඉම්රාන් යැයි කියාය. නජීම් මොහොමඩ් ඉම්රාන්, කංජිපානි ඉම්රාන් බවට පත්වන්නේ එසේය.
කංජිපානි ඉම්රාන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූවෙක් බව සඳහන්ය. ඔහුගේ මුල්ම රැකියාව බව සඳහන් වන්නේ මාළිගාවත්තේ පිහිටි පොදු වෙළඳ සංකීර්ණය තුළ ඇති කුකුළු මස් කඩේ මුදල් අයකැමිකමය.
පාසල් ගමනට සමුදීමෙන් පසු වසර තුනක් තිස්සේම ඔහු එහි සේවය කළේය. පසුව තමාගේම යැයි කියා කුකුළු මස් කඩයක් ඔහු මාළිගාවත්ත හන්දියේ දමා ගත්තේය.
මුස්ලිම් පාතාලයේ රජු ලෙසය එකල වැජඹුණු ෆාජිගේ කල්ලියේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක් වන මංජල් අක්‍රම් ඔහුට මුණගැසෙන්නේ එහිදීය. ෆාජිගේ ඥාතියෙක් වූ බැවින් මාළිගාවත්තම එදා මංජල් අක්‍රම් හොල්ලගෙන සිටියේය.
කංජිපානිගේ මස් කඩයට නිතර එන යන පුද්ගලයෙක් බවට පත්ව සිටි මංජල් අක්‍රම් දිනක් කංජිපානි ඉම්රාන් අතට සිගරට් බණ්ඩලයක් තබමින් පවසන්නේ එය පරිස්සම් කර තබන ලෙසය.
ඒ රට සිගරට්ය. හොර රහසේ මෙරටට ගෙන්වා තිබුණු එම සිගරට් තොගය සමඟ කංජිපානි ඉම්රාන්ව පොලිසියට හසුවන්නට ගත වෙන්නේ පැය කිහිපයක් පමණි.
කංජිපානි ඉම්රාන්ගේ ඉරණම තීරණය වන්නේ එතැන් සිටය. පාතාලයට වැටෙන කංජිපානි ඉම්රාන් ගංජා පානයට ද තදින්ම ඇබ්බැහි වූයේය. ඔහු ගංජා පානය කරන්නේ මංජල් අක්‍රම් සමඟිනි.
පාතාලයට එරෙහි පොලිස් මෙහෙයුම් දැඩි වෙමින් ෆාජි ඇතුළු මුස්ලිම් පාතාලයේ මහා බල කණු පොලිස් විශේෂ කාර්ය බළකායේ වෙඩි ප්‍රහාරයන්ට ලක්ව මරමුවට පත්වන විට මංජල් අක්‍රම් සිය ජීවිතය ආරක්ෂා කර ගන්නට පනින්නේ නුවරඑළියටය.
එහෙත් ඔහුට වැඩි කාලයක් නුවරඑළියේ සැඟව සිටින්නට ඉඩක් නොවීය. ඔහු සදාකාලිකවම අතුරුදන් වූ පුද්ගලයෙක් බවට පත්වන්නේ සන්නද්ධ පිරිසකගේ පැහැර ගැනීමකට ලක්වය.
සිය සගයාගේ අතුරුදන් වීමෙන් පසු එම සගයාගේ බිරිය සහ දරුවන් බලා කියා ගැනීමේ වගකීම කරට ගන්නේ කංජිපානිය.
ඒ වන විට කංජිපානි ඉම්රාන් ද සිටියේ විවාහකවය. ඔහුට එම බිරියට දාව දරුවන් දෙදෙනෙක්ද සිටියේය. සිය මිතුරා වූ මංජල් අක්‍රම්ට ද දරුවන් දෙදෙනෙක් සිටියේය.
මංජල් අක්‍රම්ගේ බිරියට කංජිපානි ඉම්රාන් කිට්ටු වීම ෆාජිගේ සහෝදරයෙක් වූ බයියාට එතරම් රිස්සුවේ නැත.
ඇහැට කනට පෙනෙන සුරූපී කාන්තාවක් වූ මංජල් අක්‍රම්ගේ බිරියට ඒ වන විටත් බයියා සිටියේ ඇස ගසාගෙනය.
එබැවින් බයියා විසින් අවස්ථා දෙකකදීම කංජිපානි ඉම්රාන්ට කොකා ගස්සා තිබුණේය. ඒ අවස්ථා දෙකකදීම දිවි ගලවා ගන්නා කංජිපානි 2015 වසරේ මාර්තු 28 වෙනිදා රටින් පනින්නේ බයියාගෙන් ජීවිතය ගලවා ගන්නටය.
එහි ගොස් වැඩි කාලයක් යන්නට මත්තෙන් ආයෝජන වීසා බලපත්‍රයක් ලබා ගන්නා ඔහු මංජල් අක්‍රම්ගේ බිරිය සහ දරුවන් දෙදෙනාව එරටට ගෙන්වා ගත්තේය.
ඒ ඇගේ නමින් ඔහු එරටින් මිලදී ගත් නිවෙසකටය. පසු කාලයේ ඔහු සිය දරුවන් දෙදෙනාව ද ඩුබායි ගෙන්වා ගත්තේය. මංජල්ගේ සහ ඔහුගේ දරුවන් එරට ජාත්‍යන්තර පාසලකට පවා ඇතුළත් කරනු ලැබීය.
දැන් මංජල් අක්‍රම්ගේ බිරියට දාවද කංජිපානි ඉම්රාන්ට දරුවෙක් සිටී. මේ දරුවන් පස් දෙනාටම ඔහු වෙනසක් නොකරමින් සලකන්නේය.
කංජිපානි ඉම්රාන්ගේ අපරාධ ලේඛනය සැකසෙන්නේ ඩුබායි ගිය පසු බවය. ඔහු ඩුබායි සිට මෙරට සිටින සිය ගෝලබාලයන් යොදා කර ඇති ඝාතන බොහෝය. ඝාතන තැත් කිරීම් 15 කට වැඩිය.
ඒ අතර ඔහුගේ නීත්‍යනුකූල බිරියගේ ඝාතනය ද සටහන් වී තිබීම විශේෂිතය.
මෙරට දරුණු ගණයේ අපරාධකරුවන් අතර කංජිපානිට ඇත්තේ ඉහළ තැනකි. මත්කුඩු ජාවාරම්කරුවෙක් ද වන කංජිපානිට ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ ඇත්තේ ඉතා කිට්ටු සම්බන්ධයකි.
මාකදුරේ මධුෂ්ව පවා ඩුබායි වෙත ගෙන්වා ගෙන ඔහුව දැවැන්ත මත්කුඩු ජාවාරම්කරුවෙක් බවට පත්කළේ ද කංජිපානි ඉම්රාන්ය.
එදා මාකඳුරේ මධූෂ් විසින් මෙහෙවනු ලැබුවේ කංජිපානිගේ මත්කුඩුය. කංජිපානි කළේ මධුෂ්ව පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙස ඉහළට ඔසවා තබා ඒ හයියෙන් මත්කුඩු ජාවාරමේ ඒකාධිකාරය අල්ලා ගැනීමය.
මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූ මත්කුඩු ජාවාරමේ එකල මැෂිම වූයේ කංජිපානි ඉම්රාන්ය. මත්කුඩු ජාවාරම පමණක් නොව, මාකඳුරේ මධුෂ් කේන්ද්‍ර කරගෙන පාතාල අධිරාජ්‍යයක් ගොඩනැඟීමට පවා මුල් වූයේ කංජිපානි ඉම්රාන්ය.
ඒ සඳහා ඇතැම් මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාවගේ පමණක් නොව, අන්තවාදයට උඩගෙඩි දෙන ඇතැම් මුස්ලිම් දේශපාලනඥයන්ගේ ද ආශීර්වාදය කංජිපානිට ලැබී තිබුණේ මදි නොකියන්නටය.
මාකඳුරේ මධුෂ්ගේ දියණියගේ උපන්දින සාදයේදී ඩුබායි පොලිසියට හසුවී 2019 වසරේ මාර්තු මාසයේ මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව මාස කිහිපයක්ම රැඳවුම් නියෝග මත සිටි කංජිපානි පසුව බූස්ස බන්ධනාගාරයේ තවත් කාලයක් රඳවා සිටියේය.
ඒ 2019 වසරේ අගොස්තු 23 වෙනිදා සිට ය. 2020 වසරේ දෙසැම්බර් 20 වෙනිදා පොලිසියටද හිතා ගන්නට බැරි විදිහට ඇපයක් ලැබුණු කංජිපානි අලුත්කඩේ අධිකරණ සංකීර්ණයෙන් එළියට පනින්නේ කුර්තාවකින් සැරසී කාන්තාවක් ලෙසිනි.
කල්තියා කළ සැලසුමකට අනුව කල්පිටියේ සූදානම්කර තිබුණු මාළු බෝට්ටුවක නැඟී ධිවරයෙක් ලෙස එදිනම රටින් පලා යන කංජිපානි ඩුබායි සිට සිය ගෝලබාලයන් යොදවා ඝාතන කිහිපයක්ම මෙහෙයවනු ලබන්නේ සිය පියාව කපාකොටා මරා දැමීමට සැලසුම් කළ පිරිසකගෙන් පළිගනිමිනි.
ඒ දේවල් පවා ඔහු කරනු ලබන්නේ පොලිසියේ කිහිප දෙනෙකුව ද අල්ලාගෙනය. කංජිපානි බූස්ස බන්ධනාගාරයේ සිට ගෝල්ෆේස් අරගලකරුවන්ට කන්න බොන්න පවා ලබාදී තිබුණාය.
ඒ ගැන කියන්නේ අප නොව බුද්ධි අංශයයි. කංජිපානි ඉම්රාන් මේ වන විට රැඳී සිටින්නේ යැයි කියැවෙන්නේ ප්‍රංශයේය.
ඒ දෙමළ වැසියන් වැඩිපුර ජීවත් වෙන පුංචි යාපනය ලෙස හඳුන්වන ලාචැපල් ප්‍රදේශයේ සරණාගතයෙක් ලෙස රැඳෙමිනි.
ගයාන් කුමාර වීරසිංහ