ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටය අමතක කල යුතුයි – මුරලි

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටය අමතක කල යුතුයි – මුරලි

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි තරග වලදී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම යන කරුණ අමතක කර අපේ මාදිලියේ ක්‍රිකට් ක්‍රීඩා කළ යුතු බවත් අවසන් පූර්ව වටය සිතේ තබාගෙන පීඩනය ආරෝපණය කර නොගත යුතු බවත් ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා පූනේහිදී පැවසීය.

ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට ඉහළින් සිටින කණ්ඩායම් ඉහළ ශුද්ධ ලකුණු වේගයක් පවත්වා ගෙන සිටීම නිසා ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පැමිණීමට නම් ඉතිරි තරග හතරම ජය ලැබිය යුතු බව කී මුරලිදරන් මහතා ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව කළ යුත්තේ මේ මොහොතේ තරගයෙන් තරඟය සැලසුම්කර ක්‍රීඩා කිරීම බව ද සඳහන් කළේය.

ලෝක ශූර කණ්ඩායමක් දිනකින් දෙකකින් නිර්මාණය කළ නොහැකි අතර ඒ සඳහා වසර පහක් හයක් වැනි දිගු කාලයක් ගත වන බවත් කී මුරලිදරන් මහතා සඳහන් කළේ ක්‍රීඩකයන්ට දියුණු වීමට කාලය දීම අනිවාර්ය සාධකයක් බවත්ය.

ක්‍රීඩකයෙක් අසාර්ථක වූ පමණින් ඔහු කණ්ඩායමෙන් ඉවත් කිරීම නොකළ යුතු බවත් මහේල ජයවර්ධන 2003 ලෝක කුසලාන තරඟාවලියේදී අසාර්ථක වූ පසු එසේ ඉවත් කළේ නම් අද ශ්‍රී ලංකාවට මහේල වැනි දැවැන්තයෙකු බිහි නොවන බව ද ඒ මහතා කීය.

ආරම්භක පිතිකරුවෙකු වන අවිශ්ක ප්‍රනාන්දු පසුගිය ලෝක කුසලාන තරගාවලියට සහභාගි වුවද මෙවර තරගාවලියට නොමැති බව ද කී මුරලිදරන් මහතා 88 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ 96 වන විට කාලයත් සමග ප්‍රබල ක්‍රිඩකයන් බවට පත්ව සිටි බවද සඳහන් කළේය.

ඉන්දියාවේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සමගාමීව අන්තර්ජාතික ක්‍රිකට් සභාව, යුනිසෙෆ් ආයතනය සමග එක්ව දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන විශේෂ වැඩසටහනේ නියෝජිතයක් වන ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා වන සුපිරි පිට දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා පූනේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විශේෂ සංචාරයකට සහභාගි වීමෙන් එසේ පැවසීය.