උතුරු නැගෙනහිර හර්තාල්

උතුරු නැගෙනහිර හර්තාල්

උතුරු නැගෙනහිර ප්‍රදේශ තුළ හර්තාලයක් දියත් කරන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හතක් විසින් කරන ලද ඉල්ලීමකට අනුව අද (20) උතුරේ ප්‍රධාන නගරවල වෙළඳසැල් විශාල ප්‍රමාණයක් වසා දමා තිබුණි.

රජයේ කාර්යාල හා බංකු ක්‍රියාත්මක වූවද දෙමළ පාසල්වල සිසුන් හා ගුරුවරු පාසල් වලට පැමිණ නොසිටියහ.

උතුරේ සිංහල පළාත්වල පාසල් විවෘතව පැවති අතර ගම්බද පළාත් වල වෙළඳසැල්ද විවෘතව පැවතිනි.

ප්‍රධාන නගරවල විවෘත කොට තිබූ වෙළඳසැල් වලින් භාණ්ඩ මිලට ගැනීම සදහා සහ වෙනත් අවශ්‍යතා සදහා නගර වලට ජනතාව පැමිණ සිටියහ.

නමුත් වෙළඳසැල්වල හා නගරයේ වෙනදා පැවති තදබදය දක්නට නොලැබුණි.

ගමනා ගමන කටයුතුවල අඩපණ වීමක් දක්නට නොලැබුණු අතර දුර ගමන් සේවා බස් රථ ක්‍රියාත්මකව පැවතුණි.

මුලතිව් මහෙස්ත්‍රාත් ටී. සරවනරාජා මහතාට සිදුවූ බව කියන තර්ජන සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මකය.

ඊට අමතරව උතුරු නැගෙනහිර පළාත් තුළ අලුතින් බෞද්ධ පන්සල් ඉදිකිරීම නතර කිරීම සහ මඩකලපුව,මයිලතමඩු ප්‍රදේශයේ දෙමළ ජාතික කිරිගොවින් භාවිත කළ ඉඩම් සිංහල ජනතාවට ලබාදීමට විරෝධය පළ කරමින් මෙම හර්තාලය කැඳවා තිබේ.