මැදපෙරදිග ගෘහසේවා ඉතිහාසයේ විශාලතම වන්දි මුදල ගත් තරුණිය දිවයිනට

මැදපෙරදිග ගෘහසේවා ඉතිහාසයේ විශාලතම වන්දි මුදල ගත් තරුණිය දිවයිනට

තම ජීවිතයට සිදු වූ විශාල අසාධාරණයක් නිසා මැදපෙරදිග ගෘහ සේවා ඉතිහාසයේ විශාලතම වන්දි මුදල වන රුපියල් හැට අට ලක්ෂයක් ලබා ගත් ශ්‍රී ලාංකික තරුණිය කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (03) උදෑසන පැමිණ තිබුණි.

ඇය මහියංගනය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තරුණියකි.

කුවේට් රාජ්‍යයේ (Sabah Al Salim City) ගෘහ සේවය සදහා 2022.10.22 දින ගොස් තිබුණේ එරට රාජ්‍ය සේවයේ නිරත සේවකයින් සිටින නිවෙසකටය.

එහිදී එම නිවසේ සිටින මෙම හාම්පුතාගේ 32 හැවිරිදි පුතා විසින් අවස්ථා කීපයක දී මෙම තරුණියට බලහත්කාරකම් සිදු කර ඇති අතර පසුව රෝගාතුරව සිටි මෙම තරුණිය ශ්‍රී ලංකාවට ආපසු එවීම සදහා කුවේට් රාජ්‍යයේ ගුවන් තොටුපොළ වෙත බලහත්කාරකම් සිදු කළ කුවේට් ජාතික තරුණයාගේ පියා විසින් ගෙනැවිත් භාර දී ඇති අතර කුවේට් ගුවන්තොටුපොළ නිලධාරීන් තරුණිය ගෙන් කරුණු විමසා මේ පිළිබඳව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

ඇය සේවය කළ නිවසේ හිමිකරුගේ පුත්‍රයා විසින් බලහත්කාරයෙන් අවස්ථා කීපයක දී මෙම තරුණියව දූෂණයට ලක් කර ඇති බවයි වාර්තා වුණේ.

පසුව එම කුවේට් ජාතික තරුණයාගේ මව විසින් මෙම තරුණිය ගැබ් ගෙන ඇති බවට දැනගැනීමත් සමඟ රහසිගතව නිවස වෙත වෛද්‍යවරයෙක් ගෙන්වා තරුණියට බලහත්කාරයෙන් ගබ්සා කිරීමක් සිදුකර තිබෙනවා.

එහිදී මෙම සිදුවීම කිසිවෙකුටත් ප්‍රකාශ නොකරන ලෙස කුවේට් ජාතික කාන්තාව විසින් මෙම ශ්‍රී ලාංකික තරුණියට තර්ජනය කර ඇති බවට ද තොරතරු වාර්තා වනවා.

එම ගබ්සා කිරීමෙන් පසු රෝගී වී ඇති මෙම ශ්‍රී ලාංකික තරුණිය පසුගිය මාර්තු මස 23 වන දින රෝද පුටුවක හිදුවා ශ්‍රී ලංකාවට ආපසු එවීම සඳහා කුවේට් ගුවන් තොටුපොළ වෙත දූෂණය සිදුකළ කුවේට් ජාතික තරුණයාගේ පියා විසින් කැඳවාගෙන විත් තිබෙනවා.

එහිදී ගුවන් තොටුපොළ බලධාරීන් විසින් අසනීප තත්ත්වයේ සිටි මෙම තරුණියගෙන් කරුණු විමසා ඇති අතර, එහිදී ඇයට මුහුණදීමට සිදුවූ සිදුවීම ඔවුන්ට පවසා ඇති බව සඳහන්.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතාගේ උපදෙස් මත, නියෝජ්‍ය තානාපති අබ්දුල් හලීම් මහතාගේ අධීක්ෂණය යටතේ එම කාර්යාලයේ තෙවන ලේකම් ජනක සමරසේකර, භාෂා පරිවර්තක අමීර් හසන් සහ රවුෆ් යන මහත්වරුන් විසින් මෙම තරුණිය ජබරියා හි අල් මුබාරක් රෝහල වෙත ඇතුළත් කර තිබේ.

ඉන්පසුව මෙම සිදුවීම අහමදි අධිකරණය වෙත රැගෙන ගිය මෙම ශ්‍රී ලාංකික නිලධාරීන්, එරට නීතිවේදීන් සමග මාස 06 ක පමණ කාළයක් දැඩිව ගැටෙමින්, මෙම තරුණිය වෙත කුවේට් ඩිනාර් 6,500 ක් වටිනා රුපියල් ලක්ෂ 68 ක වන්දි මුදල ලබා දීමට කටයුතු කර තිබුණි.