හක්ක පටස් කෑ සිව්හැවිරිදි ඇත් පැටවෙකුට ප්‍රතිකාර

හක්ක පටස් කෑ සිව්හැවිරිදි ඇත් පැටවෙකුට ප්‍රතිකාර

හක්කපටස් ආහාරයට ගැනීමෙන් මුඛයේ ඇතිවූ ආබාධයකින් පෙලෙන ඇත් පැටවකුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට වයඹ වනජීවී කලාපයේ නිකවැරටිය වන සත්ත්ව සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේ නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ගල්කිරියාගම වන සත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් කලාවැව ජාතික උද්‍යානය තුළ කළ මුර සංචාරයකදී එම ඇත් පැටවා සොයා ගෙන ඇති අතර එහිදී ඔවුන් ඇත් පැටවාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන තිබේ.

කලාවැව ජාතික උද්‍යානය වෙත පැමිණි, වයඹ වනජීවී කලාපයේ, නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එම ඇත් පැටවාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දී තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ කලාවැව ජාතික උද්‍යානයේ වෙසෙන වයස අවුරුදු 04ක් පමණ වන උස අඩි 05කට ආසන්න ඇත් පැටවෙක්.

හොඳින් වැඩෙන දළ යුගලයක් ද හිමි එම ඇත්පැටවා මේ වනවිටත් ආහාර සහ ජලය නිසි ලෙස ලබා ගන්නා බැවින් සෞඛ්‍ය තත්ත්වය යහපත් අන්දමින් පවතින බවත් එම පැටවාට ජීවිත අවදානමක් නොමැති බවත්, වනජීවී නිලධාරීන් පවසනවා.

ප්‍රතිකාර ලබමින් සිටින එම ඇත් පැටවාගේ ආරක්ෂාව උදෙසා ගල්කිරියාගම වන සත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලය මගින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද මේ වනවිට ක්‍රියාවට නංවා තිබෙනවා.

Monara

Images - Kekirawa - Kushan Jayawardhena

Images - Kekirawa - Kushan Jayawardhena