05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අද සිට

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අද සිට

2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අද (08) සිට ආරම්භ වේ.

එය ලබන 12 වැනි දා දක්වා සිදු කෙරෙන අතර එම කටයුතු නිමකර දින 40 ක් ඇතුළත ප්‍රතිඵල නිකුත් කරන බවයි, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ.

මේ අතර, ආන්දෝලනයට තුඩුදුන් ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ පිටවී ඇතැයි කියන ප්‍රශ්න 03ට සියලු අපේක්ෂකයින්ට නිදහස් ලකුණු ලබා දීමට පසුගියදා තීරණය කළේය.

පසුගිය සැප්තැම්බර් 15 වැනි දා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් විභාගයට පෙර පිට වී ඇති බව පවසමින් විභාග වූ නඩුවේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළේ, පසුගිය 31 වැනි දායි.

ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේ, ආන්දෝලනයකට තුඩු දුන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3කට නිදහස් ලකුණු දීම, ප්‍රශ්න 3 කප්පාදු කිරීම සහ සම්පූර්ණ විභාගය යළි පැවැත්වීම යන නිර්දේශ 3 අතරින් සුදුසුම නිර්දේශය තෝරාගෙන එය වහාම ක්‍රියාත්මක කරන ලෙසයි.

මෙම එක් එක් නිර්දේශ ක්‍රියාත්මක කිරීම මගින් ඇතිවිය හැකි හිතකර මෙන්ම අහිතකර බලපෑම් සම්බන්ධයෙන් වඩාත් ගැඹුරින් අධ්‍යයනය කර ලබා දිය හැකි වඩාත් සාධාරණ හා සුදුසුම විසඳුම අදාළ ප්‍රශ්න තුන සඳහා සියලුම විභාග අපේක්ෂකයින්ට නිදහස් ලකුණු ප්‍රදානය කිරීම බව විභාග දෙපාර්තමේන්තුව පසුගිය 01 වැනිදා පස්වරුවේ නිවේදනය කළේ ය.