ඉසෙඩ් ලකුණ මත රජයේ රැකියා

ඉසෙඩ් ලකුණ මත රජයේ රැකියා

අ.පො.ස උසස් පෙළ සමත්වීම සුදුසුකමක් ලෙස ඇති, රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීමේදී ඉසෙඩ් ලකුණේ අගය මත එය සිදුකළ යුතුයැයි ඩලස් අලහප්පෙරුම මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට අද (12) ඉදිරිපත් කළේය.

එම යෝජනාව ඉදිරිපත් කරමින් ඒ මහතා පැවසුවේ, දේශපාලන අවශ්‍යතා සහ පෞද්ගලික රුචි, අරුචිකම් මත ඇතිකරන ප්‍රතිපත්ති රාජ්‍ය සේවයට හානියක් සිදුකර ඇති බවයි.

මෙම යෝජනාව පාර්ලිමේන්තුවේදී ඊයේ විවාදයට ගැනිණ.

ඩලස් අලහප්පෙරුම මහතා විවාදයේදී මෙසේ පැවසීය.

“රැකිය ලබාදීමේදී දක්ෂ සහ සුදුසුකම් සහිත දරුවන්ට අවස්ථාව හිමි කළ යුතුයි. 

සියලුම ආයතනවල රැකියා පුරප්පාඩු පිරවීමේදී මෙය සැලකිල්ලට ගැනීම ඉතා වැදගත්. 

තරුණ නැගිටීම් තුනක් ඇතිවුණු රටක් මේක. තරුණ අසහනයට පිළියම් ලෙස යෝජනා රැසක් ඉදිරිපත් වුණා. 

මැතිවරණ වෙළඳපොළේ ඉහළම ලංසුව අද ලැබෙන්නේ රැකියාවට. බදුල්ලේ දැනුත් රැකියා පෝරම බෙදනවා. ඒ

 තත්වය යම් විදියකට මුළුනුපුටා දැමීමට තමයි මම මේ යෝජනාව කරන්නේ. දේශපාලනඥයන් තමන්ගේ හිතවතුන්ට රැකියා ප්‍රදානය කිරීම අලුත් දෙයක් නොවෙයි. 

විලාසිතාවක් නොවෙයි. මෙතැනදී සුදුසුකම් තියෙන අය පැත්තකට යනවා. 

මේ සංස්කෘතියට නැවතීමේ ලකුණ තියන්න ඕන. තරුණ පරපුර පහුගිය කාලෙ ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එකක්. 

මේ වෙනස නිකන්ම එන්නේ නැහැ. අප මැදිහත් වෙන්න ඕන.”