ජනාධිපතිවරණයේ ආරක්ෂක වැඩපිළිවෙල පොලිස් ප්‍රධානීන්ට

ජනාධිපතිවරණයේ ආරක්ෂක වැඩපිළිවෙල පොලිස් ප්‍රධානීන්ට

ජනාධිපතිවරණයේදී ක්‍රියාත්මක කළ යුතු අවසාන ආරක්ෂක වැඩපිළිවෙල පොලිස් ප්‍රධානීන්ට අද (19) දුන් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානී ගුණතිලක මහතා පැවසීය.

ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදා භට පිරිස් අවශ්‍ය තරමට ලබාදීමට එකඟ වී ඇතැයිද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් රට පුරා පොලිස් මාර්ග බාධක රැසක් පිහිටුවීමට උපදෙස් දී ඇතැයි පැවසූ ලේකම්වරයා ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවේ යැයි බලාපොරොත්තු විය හැකි ප්‍රදේශවලට අමතර ආරක්ෂාවක් සපයන බවද සඳහන් කළේය.

මේ අතර තර්ජන පවතින ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන්ට විශේෂ ආරක්ෂාව සැපයූ බවත් ප්‍රචාරක කටයුතු අවසන්ව ඇති හෙයින් අනෙකුත් අපේක්ෂකයන්ට තවදුරටත් ආරක්ෂාව අවශ්‍ය වේ යැයි නොසිතන බවත් ඔහු කීවේය.

ඕනෑම කැඳවීමකදී පොලිසියේ සහයට යැවීමට ත්‍රිවිධ හමුදාව සූදානම් කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හේරත් මහතා පැවසීය.

ඡන්ද විමසීම පැවැත්වෙන දින ඊට පසු සතිය පුරා මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් රට පුරාම ක්‍රියාත්මක වන බව ඔහු සඳහන් කළේය.