විශ්වවිද්‍යාලවල විධායක ශ්‍රේණි අනධ්‍යයන සේවකයෝ වර්ජනය අත්හිටුවයි

විශ්වවිද්‍යාලවල විධායක ශ්‍රේණි අනධ්‍යයන සේවකයෝ වර්ජනය අත්හිටුවයි

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් මාස දෙකකට ආසන්න කාලයක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව විධායක ශ්‍රේණියේ නිලධාරීන් වර්ජනය අතහැරීමට තීරණය කළ බව එම නිලධාරියා කීය.

කෙසේ වෙතත් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් මාස දෙකකට අධික කාලයක් ක්‍රියාත්මක කර තිබෙන වැඩ වර්ජනය අවසන් නොකළ බවත් වැඩ වර්ජනය අවසන් කළේ යැයි කියන විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් 500 ක් පමණක් සිටින බවත් විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා පැවසීය.

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් 12,000 කට අධික සංඛ්‍යාවක් මේ දක්වා වර්ජනයේ නිරතව සිටින බව කී ප්‍රියන්ත මහතා ඉල්ලීම් ලැබෙනතුරු වර්ජනය අත්නොහරින බවද සඳහන් කළේය.