ජනාධිපතිවරණයෙන් පස්සෙ අපේක්ෂකයන් කිහිප දෙනෙකුටම හිරේ යන්න වෙනවා

ජනාධිපතිවරණයෙන් පස්සෙ අපේක්ෂකයන් කිහිප දෙනෙකුටම හිරේ යන්න වෙනවා

ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු ඊට ඉදිරිපත් වූ අපේක්ෂකයන් කිහිප දෙනෙකුට සිරගත වීමට සිදු වනු ඇති බවට තමා විශ්වාස කරන බව ස්වාධීන ජනාධිපතිවරණ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

මාතර ප්‍රදේශයේදී ඊයේ (05) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදල රුපියල් 20ක් විදියට නියම කළා.

අපි මේ මැතිවරණයේත් ඒ විදියටම ඉල්ලුවා. නමුත් මැතිවරණ කොමිෂන් සභාව ගත්ත තීන්දුව ගැන අපි සෑහීමකට පත්වෙන්නේ නෑ. රුපියල් 109ක සීමාවේ ඒ අය නියමයක් කළා.

එතකොට එක අපේක්ෂකයෙකුට කෝටි 186ක් වියදම් කරන්න පුළුවන්. ඒත් එක පැත්තකින් මම හිතනවා මේක අපිට වුණු ආශිර්වාදයක් කියලා.

ඒ අනුව, ගත්තම කොමිසමට දොස් කියන්නේ නෑ. ඒ සීමාව ඉතා ඉහළ එකක් විදියට දුන්නම අතපය දිග ඇරලා සමහර පක්ෂ මේ වන විට වියදම් කරනවා.

ඒත් මේ වියදම් කරලා මේ අය හිරවෙන තැනක් තියෙනවා. එතන තමයි මැතිවරණය අවසන් වෙලා දවස් 21ක් ඇතුළත දිවුරුම් ප්‍රකාශයක් සහිතව ගිණුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න ඕනෑ මැතිවරණ කොමිසමට වියදම් කරපු මුදල් සහ ඒවා ලැබුණු ආකාරය.

ඒ දවස් 21 ඇතුළත ලබා දෙන ප්‍රකාශනය ජනතාවට බලන්න අවස්ථාවක් දෙන්න ඕනෑ. දවස් 10ක් ඇතුළත මැතිවරණ කොමිසම පුවත්පත් වල දැන්වීම් පළ කරන්න ඕනෑ. කැමති කෙනෙකුට ඇවිත් මේවා නිරීක්ෂණය කරන්න කියලා.

මැතිවරණ පෙත්සමක් ඉදිරිපත් කරන්න නීතියේ තිබුණු කාල සීමාව දවස් 21න් අපි සංශෝධනය කළා, දවස් 42 දක්වා දීර්ඝ කරන්න.

මේ යටතේ මැතිවරණ පෙත්සමක් ඉදිරිපත් කළාට පස්සේ මේ ලේඛන මත හරිම පහසුයි යම්කිසි වංචාවක් නීති විරෝධී දෙයක් කරලා තියෙනවා නම් ඔප්පු කරන්න.

මේකේ තියෙන සුවිශේෂතාව තමයි දිනපු අපේක්ෂකයාට විරුද්ධව විතරක් නෙවෙයි පරාජය වුණු අනිත් අයට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්.

ඒ අනුව, දිවුරුම් ප්‍රකාශයේ යම් වරදක් තියෙනවා නම් දණ්ඩනීති සංග්‍රහය යටතේ ඔවුන්ට විරුද්ධව දඬුවම් ලබා දීමේ හැකියාව තියෙනවා.

අනිත් පැත්තෙන් අද අපි අලුතින් ගෙනාපු දූෂණ විරෝධී නීති නිසා අපේක්ෂකයන්ට සිදු වුණා වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න.

අපේක්ෂකයන්ගේ මාසික අදායමත් වත්කමත් දැන් රටේ ජනතාව දන්නවා.

මේ පරීක්ෂණ කරනකොට මට හිතෙනවා මේ සැරේ නාම යෝජනා දුන්න අයගෙන් කිහිප දෙනෙකුට සිරගත වෙන්න සිදුවෙයි කියලා.

මේ අවස්ථාවේ රූකඩ අපේක්ෂකයොත් ඉදිරිපත් කරලා තියෙනවා.

ඒ අයත් මේක සුළුවකට තකලා ලේඛන ඉදිරිපත් කරලා තිබෙනවා වත්කම් සහ බැරකම් කියලා. ඒ අයගේ වත්කම් බැරකම් මේ යටතේ සොයන්න සිදුවෙනවා”