කාලගුණයෙන් රතු නිවේදනයක්

කාලගුණයෙන් රතු නිවේදනයක්

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ.

එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා වලංගුවේ.

අරාබි මුහුද ප්‍රදේශ හා බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව එම නිවේදනයේ දක්වා තිබේ.

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුදු ප්‍රදේශයේ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැවතිය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකිය.

එමෙන්ම, සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවරසහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද සඳහන්.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලමි.මී. 50පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද එහි දැක්වෙනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.