අසාධ්‍ය වූ ගැබිනි මව ගැන නොබලා දොස්තරයි හෙදියයි ෆෝන් එකෙන් මල් කඩකඩ ඉඳලා

අසාධ්‍ය වූ ගැබිනි මව ගැන නොබලා දොස්තරයි හෙදියයි ෆෝන් එකෙන් මල් කඩකඩ ඉඳලා

වවුනියාව රෝහලේදී ගැබිණි මවකගේ කුස තුළ සිටි දරුවා වෛද්‍යවරයාගේ හා කාර්ය මණ්ඩලයේ වරදින් මියගිය බව පවසමින් රෝහල ඉදිරිපිට ඊයේ (21 ) සවස විරෝධතාවයක් දියත් කොට තිබුණි.

මියගිය බිළිදාගේ පියා විසින් වවුනියාවේ සෞඛ්‍ය බලධාරීන්ට හා පොලීසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කොට තිබූ අතර වවුනියාව මහේස්ත්‍රාත්වරියද වවුනියාව මහ රෝහලට පැමිණ මෙම මරණය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් සිදු කරන ලදී.

මියගිය බිළිදාගේ පියා පොලීසියට පවසා ඇත්තේ සිය බිරිද පලමු දරු ප්‍රසූතිය සඳහා වවුනියාව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ලබා දුන් එන්නතක් හේතුවෙන් බිරිදගේ ගර්භාෂයේ තරලය පිටතට පැමිණ ඇති බවයි.

මේ අවස්ථාවේදි ඇය වේදනාවෙන් පෙලුණු නිසා ඒ බව වෛද්‍යවරයාට දැණුම් දීමට යන විට වෛද්‍යවරයාත් හෙදියත් දුරකතන කනේ රඳවා ගෙන සිනා සෙමින් දුරකතන ඇමතුම් වලම රැදී සිටියා මිස තමන්ගේ දුක ඇසීමට ඔවුන් කාරුණික නොවූ බව මිය ගිය බිළිඳාගේ පියා පවසයි.

පසුව තම බිරිදට ඇඟ පණ නැතිව ගොස් ඇඟ සීතල වන්නට පටන් ගත් අවස්ථාවේදී වෛද්‍යවරු කාන්තාව රැගෙන ගොස් දරුවා එළියට ගන්නා ලද නමුත් ඒ වන විටත් බිළිදා මියගොස් සිටි බව එම පියාගේ පැමිණිල්ලේ සඳහන් වෙයි.

මෙය වැරදීමක් නොව වගකීමකින් තොරව රාජකාරී කිරීම නිසා සිදු කරණ ලද වක්‍ර මිනීමැරුමක් බව ප්‍රකාශ කරණ පියා තමන්ට සාධාරණයක් ඉටු කරණ ලෙස ඉල්ලා සියලු බලධාරීන්ට පැමිණිලි ඉදිරිපත් කොට තිබේ.

වවුනියාව මහ රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති බවයි.

නමුත් මියගිය දරුවාගේ පවුලේ ඥාතීන් හා හිතවත්තු වෛද්‍ය අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශය පිළිගැනීමට නොහැකි බවත් ඔවුන් සියලු දෙනාම ඔවුන්ගේ සේවකයින් ආරක්ෂා කරන බවත් කියමින් රෝහල ඉදිරිපිට විරෝධතාවයක් දක්වා එම ස්ථානයට මාධ්‍යවේදීන් කැදවූහ.

විරෝධතාකරුවන් පැවසුවේ උතුරේ සෞඛ්‍ය බලධාරීන් උතුරු පළාත් ආණ්ඩුකාරවරියගේ හිතවතුන් නිසා පරීක්ෂණ පැවැත්වීමෙන් පලක් නොමැති බවය.

පොලීසිය පැමිණ ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව පැය තුනකට පමණ පසුව විරෝධතාවය අවසන් විය.