ක්ලබ් වසන්ත ඝාතනය කෙරුණු හැටි ලොකු පැටී ඩුබායි සිට සජීවීව නරඹලා

ක්ලබ් වසන්ත ඝාතනය කෙරුණු හැටි ලොකු පැටී ඩුබායි සිට සජීවීව නරඹලා

පසුගිය සඳුදා (08) අතුරුගිරියේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට ගොස් සිටියදී ඝාතනය වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත එම ආයතනය විවෘත කිරීමට පැමිණි මොහොතේ සිට වෙඩි තබා ඝාතනය කරන අවස්ථාව වන තෙක් සිදුවීම් සියල්ල ඝාතන සැලැස්ම සිදු කළේ යැයි කියන ඩුබායි රටේ සැඟව සිටින සංජීව පුශ්පකුමාර නොහොත් ලොකු පැටී සජීවීව නරඹා ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඔහු විසින් මෙම සැලැස්ම ක්‍රියාත්මක කෙරෙන ආකාරය සිය ජංගම දුරකතනය හරහා මෙසේ සජීවිව නරඹා ඇති බවයි වාර්තා වන්නේ.

තමන්ගේ ටැටූ හලේ ආරක්ෂිත කැමරා පද්ධතියේ රහස් අංක ලොකු පැටී විසින් ලබාගෙන ඇති බවත් තමන් ඒවා ඔහුට දුන් බවත් ටැටූ හලේ හිමිකරු වන අත්අඩංගුවට ගෙන ඇති දුලාන් සංජු නමැත්තා විසින් පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.

මේ අතර ජීවිතක්ෂයට පත් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය බොරැල්ලේ පිහිටි මල් ශාලාවෙන් ඉවත්කර ගන්නා ලෙස එම මල්ශාලාවට තර්ජන එල්ල වී ඇති බව බොරැල්ල පොලිසිය පවසයි.

එලෙස නොකළහොත් මෘත ශරීරයට මෙන්ම මල්ශාලාවට ද වෙඩි තබන බවට තර්ජනය කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

විදේශයක සිට ලැබී ඇතැයි කියන ඇමතුමක් හරහා එම තරජනය එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් අදාළ මල් ශාලාව විසින් බොරැල්ල පොලිසිය වෙත පැමිණිල්ලක් ද යොමු කර තිබේ.

අනතුරුව එම මල්ශාලාවේ ආරක්ෂාවට පොලීසිය යොදවා ඇත.