ක්ලබ් වසන්ත ඝාතනයේ තවත් තොරුතුරු එළියට

ක්ලබ් වසන්ත ඝාතනයේ තවත් තොරුතුරු එළියට

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයේදී ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (09) වන විට පුද්ගලයන් 7 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම පිරිස අතර ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු, මෝටර් රථය සහ වෑන් රථය ලබා දුන් පුද්ගලයන් රැගෙන ආ පුද්ගලයන්ද වන බව එම නිලධාරියා කීය.

එම ඝාතනය ඩුබාහි සැඟව සිටින ලොකු පැටි හා ගොනා කෝවිලේ ශාන්ත නැමැති අපරාධකරුවන් දෙදෙනා සෘජුවම එක්ව සැලසුම් සහගතව සිදුකළ ඝාතනයක් බවට පොලිසියේ මේ වන විට අනාවරණය කරගෙන ඇත.

වෙඩික්කරුවන් දෙදෙනා සිදුකළ එම වෙඩි ප්‍රහාරයෙන් ප්‍රසිද්ධ ගායන ශිල්පිනි කේ. සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිද හා තවත් පිරිමි පුද්ගලයෙක් හා කාන්තාවක් තුවාල ලැබීය.

වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය කොරතොට ප්‍රදේශයේ අත්හැර දමා තිබියදී සොයාගැනුණු අතර තවත් වෑන් රථයක් බුලත්සිංහල පොලිස් බල ප්‍රදේශයේ පාළු නිවසක් ආසන්නයේ වංගුවක් සහිත ස්ථානයක අත්හැර ගොස් තිබියදී පෙරේදා රාත්‍රී බුලත්සිංහල පොලිසිය මගින් සොයා ගැනිනි.

සුදු පැහැති ටොයොටා 252- —– කාණ්ඩයේ ඩොල්පින් වර්ගයේ වෑන් රථයේ අංක තහඩු තිබී නොමැති අතර ඉදිරිපස වම්පස වීදුරුවේ අලවා ඇති ආදායම් බලපත් පිටපතෙයි අංක 101 පියසමර වරකාපිටිය දෙනිපිටිය යනුවෙන් ලිපිනයක් සඳහන්ව ඇතැයි ද එහි එච් දමිත් රූක්ෂාන් යනුවෙන් සටහන්ව ඇතැයිද පොලිසිය කියයි.

එම වෑන් රථය මීට සතියකට පමණ ඉහතදී රක්ෂණ සමාගමක සීසර්වරුන් අත්පත් කරගෙන තිබූ එකක් බවත් පොලිසිය කියයි.

එම වෑන් රථයේ සටහන්ව තිබූ අත්ල සටහන් හයක් සහ ඇඟිලි සටහන් දෙකක් ඇඟිලි සටහන් නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනවලදී සොයා ගැනීමට සමත් වී ඇත.

වෑන් රථයේ පැමිණි පුද්ගලයන් එයින් බැස ඈගල් ඔය හරහා රත්නපුර අයගමට හෝ කලවාන තෙක් ගමන් ගන්නා බස් රථයක නැග යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

වෑන් රථයක පැමිණි පුද්ගලයන් අවුරුදු දහතුනක පමණ කුඩා ගැහැණු දරුවෙකු දැක ඇති අතර එම පුද්ගලයන් ඇය සමඟ සිනහා සී ඇතැයිද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ටැටු මධ්‍යස්ථානය තුළ තිබී සොයා ගත් හිස් උණ්ඩ කොපුවල කේ පි අයි යනුවෙන් සටහන්ව තිබුණත් එය කන්ජි පානී ඉම්රාන්ගේ ඝාතන කොන්ත්‍රාත්තුවක් බවට ස්ථිර වශයෙන් කිව හැකි සාධක කිසිවක් නැතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මේ අතර වෙඩි වැදීමෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ගායන ශිල්පිණි කේ සුජීවාට වෛද්‍ය කණ්ඩායම් පහක් පමණ එක්ව ශල්‍ය කර්ම හතරකට ලක් කළ බවත් ඇයගේ සෞඛ්‍ය තත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් පවතින බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ මහතා පැවසීය.

මේ අතර ක්ලබ් වසන්තගේ බිරිඳ හෝමාගම මූලික රෝහලේදී සැත්කමකමට භාජනය කිරීමෙන් අනතුරුව කළුබෝවිල ශීක්ෂණ රෝහල කරා මාරුකර යැවූ බව හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුවන බලපිටියේ පදිංචි පුද්ගලයාගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ දහයක මුදලක් විදේශ රටක සිට බැරවීම සම්බන්ධයෙන්දැඩි අවධානය යොමු කර ඇති අතර එය ව්‍යාපාර කටයුත්තට බැර වූ මුදලක්ද? ඝාතනය සැලසුම් කිරීම සඳහා ලබා දුන් මුදලක් ද? යන්න විමර්ශකයන්ගේ දැඩි අවධානය යොමු වී ඇත.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා ඇති අතර දකුණේ පාතාල කල්ලියකට සම්බන්ධ ආරක්ෂක අංශයකින් පලා ගිය පුද්ගලයන් දෙදෙනෙක් මෙම ඝාතනය සඳහා පැමිණෙන්නට ඇති බවට බොහෝ දුරට සැක කල හැකි යැයි වෙඩික්කරුවන් පෙරේදා ටැටූ මධ්‍යස්ථානය තුළ ගිණි අවිය අත දරාගෙන හැසුරුණු ආකාරයෙන්බොහෝ දුරට සැක කළ හැකි යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ශන කටයුතු සිදු කරයි.