වැඩිහිටි දීමනාවෙනුත් රුපියල් ලක්ෂ 10 ක් ගසා කාලා

වැඩිහිටි දීමනාවෙනුත් රුපියල් ලක්ෂ 10 ක් ගසා කාලා

වැඩිහිටි දීමනාව ලබා දීමට රජය නිකුත් කළ රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදලක් ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් වැඩිහිටියන්ට නොදී වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී. හේරත් මහතා පැවැසීය.

ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අංශ දෙකකට මෙන්ම ග්‍රාම නිලධාරීන් පිරිසකට මෙම චෝදනාව එල්ලවී ඇතැයි කියති.

අදාළ වැඩිහිටියන්ට මෙම මුදල් ලබා දුන් බවට ලේඛනවල සටහන් තබා වැඩිහිටියන්ට ලබා නොදී වංචා කර ඇති බවට මූලික විමර්ශනවලින් හෙළිවී ඇතැයි ද කියයි.

ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වැඩිහිටි දීමනා ලබා ගන්නා වැඩිහිටියන් දහසකට ආසන්න පිරිසක් සිටින බවත් එයින් බහුතරයක පිරිසකගේ මුදල් මෙලෙස වංචා සහගත අයුරින් ලබා ගෙන ඇති බවටත් ‍චෝදනා එල්ලවී ඇතැයි කියති.

තැපැල් කාර්යාලවලින් වැඩිහිටි දීමනාව ලබා දීම සිදු වුව ද එය සෑම මසකම 15 වැනිදායින් පසු ලබා නොදීමෙන් පසු මෙලෙස මුදල් ප්‍රදේශීය ලේකම් කාර්යාල වෙත නැවත ලැබීමෙන් පසු එම මුදල් ද මෙලෙස වංචා කර ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි කියයි.

මේ පිළිබදව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී.හේරත් මහතාට තොරතුරු ලැබීමත් සමග දිස්ත්‍රික් ලේකම්වරයා විමර්ශන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර විගණන අංශයට භාර දී ඇත.

Share This