විසඳුමක් ලැබෙන තෙක් ‘ඔන් අරයිවල් වීසා’ ක්‍රියාත්මකයි

විසඳුමක් ලැබෙන තෙක් ‘ඔන් අරයිවල් වීසා’ ක්‍රියාත්මකයි

වීසා ගැටලුවට අධිකරණ විසදුමක් ලැබෙන තෙක් දිවයිනට පැමිණි පසු (ඔන් අරයිවල්) වීසා නිකුත් කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය.

ඇමතිවරයා මේ බව පැවැසුවේ, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අද (09) පැවති මාධ්‍ය හමුවකදීය.

ගුවන් යානා කිහිපයක් එකවර පැමිණීමේදී වීසා නිකුත් කරනු ලබන කවුන්ටර්වල පෝලිම් ඇතිවන අතර මෙම තත්ත්වය අවම කරගැනීම සදහා පවතින කවුටර්වලට අමතරව නව කවුන්ටර් 12 ක් ස්ථාපිත කළ බවත් ඇමතිවරයා කීවේය.

වී.එෆ්.එස් ග්ලෝබල් සමාගම මගින් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය අධිකරණය විසින් වාරණය කිරීම හේතුවෙන් විදේශිකයන් දිවයිනට පැමිණීමෙන් පසු දින 30 කට හෝ දින 60 කට වීසා ලබාදීමට කටයුතු කරන බව ඇමතිවරයා කිවේය.

වී.එෆ්.එස් ග්ලෝබල් සමාගම හරහා විසා නිකුත් කිරීම ක්‍රියාත්මක කළ අවසන් මාසයේදී පමණක් සංචාරකයින් එක්ලක්ෂ අසූ නව දහසක් පැමිණි බවත් එම ක්‍රමවේදය වාරණයවීම ගැන හෝටල් ව්‍යාපාරිකයින් රැසක්ම කනස්සල්ල පළකරන බවත් ඇමතිවරයා කීවේය.

එසේම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කරන බවද හෙතෙම කීවේය.