රථවාහන පරීක්ෂාවක් අතරේ වාහනයට ගංජා දමා ඇල්ලූ බව කියන සිදුවීම ගැන පරීක්ෂණයක්

රථවාහන පරීක්ෂාවක් අතරේ වාහනයට ගංජා දමා ඇල්ලූ බව කියන සිදුවීම ගැන පරීක්ෂණයක්

රථ වාහන සෝදිසි මෙහෙයුමක් අතරතුර පොලිස් නිලධාරීන් හා තරුණයින් පිරිසක් අතර ඇති වූ බහින් බස්වීමක් පිලිබඳ සමාජ මධ්‍යයේ සංසරණය වූ වීඩියෝවේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

ඊයේ (24) පස්වරුවේ කොල්ලුපිටියේ දී රථ වාහන සෝදිසි මෙහෙයුමේ නිරත පොලිස් නිලධා‍රින් කණ්ඩායමක් විසින් ඒ අසලින් ගමන් ගත් වෑන් රථයක් පරීක්ෂාවට ලක්කර තිබේ.

එහිදී අදාළ වෑන් රථයේ තිබී ගංජා මත්ද්‍රව්‍ය හමුවූ බවට පොලිසිය ප්‍රකාශ කර ඇති අතර වෑන් රථයේ ගමන් ගත් පිරිස චෝදනා කර ඇත්තේ, පොලිස් නිලධාරින් විසින් වාහනය පරික්ෂා කරන අතරේ ඊට මෙම මත්ද්‍රව්‍ය දැමූ බවටයි.

ඒත් සමග දෙපාර්ශ්වය අතර බහින්බස්වීමක් ඇති වී ඇති අතර එහිදී එම තත්ත්වය දැක්වෙන දර්ශන කිහිපයක් අදාල තරුණයින් විසින් අන්තර්ජාලයට මුදාහැර තිබේ.

කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය සඳහන් කළේ, වාහනයේ ගමන් කළ පිරිස් ඔවුන්ට එල්ල වූ චෝදනාවෙන් ගැලවීම සඳහා මෙවැනි අසත්‍ය ප්‍රචාරයක් සිදු කරන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.