උපුල් තරංගගේ වරෙන්තුව යළි කැඳවන්නැයි නියෝගයක්
හිටපු ටෙස්ට් ක්රීඩක උපුල් තරංග අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මාතලේ මහාධිකරණය නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.
තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවක පැමිණිලිකරුවෙකු වන හිටපු ටෙස්ට් ක්රිකට් ක්රීඩක උපුල් තරංග මහතා අදාළ නඩුවට පෙනී නොසිටීම හේතුවෙනුයි ඔහුට එරෙහිව එම වරෙන්තුව නිකුත් කෙරුණේ.
ඉදිරි දිනකදී අදාළ නඩුව මාතලේ මහාධිකරණය හමුවේ විභාග කිරීම සඳහා කැඳවන අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිටින බවට උපුල් තරංග මහතා සිය නීතීඥවරුන් මාර්ගයෙන් ලබාදුන් ප්රතිඥාව සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.
මාතලේ මහාධිකරණය තමන්ව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා නිකුත් කර තිබෙන වරෙන්තුව බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා උපුල් තරංග විසින් අද පෙත්සමක් ඉදිරිපත් කළ අතර එම පෙත්සම කැඳවූ අවස්ථාවේදීයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.