වරාය නගරයට ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලයක්, පාසලක් සහ රෝහලක්

වරාය නගරයට ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලයක්, පාසලක් සහ රෝහලක්

කොළඹ වරාය නගරයේ ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලයක්, පාසලක් සහ රෝහලක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති වලට ඉඩම් බදු දීම සඳහා වන යෝජිත රාමුව සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 6(1)(ඇ) වගන්තිය මඟින් කොළඹ වරාය නගරය බල ප්‍රදේශය තුළ පිහිටි සහ කොමිෂන් සභාවට පවරා ඇති රජයේ අලෙවි කළ හැකි ඉඩම් බදු දීමට කොමිෂන් සභාව වෙත බලය ලබා දී ඇත.

ඒ අනුව, අදාල ව්‍යාපෘති සඳහා ආයෝජකයින් තෝරා ගැනීම පිණිස කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව විසින් යෝජනා කැඳවා තිබේ.

ආසන්න වශයෙන් රෝහල සඳහා ඩොලර් මිලියන 100ක් ද, පාසල සඳහා ඩොලර් මිලියන 25ක් ද සහ විශ්ව විද්‍යාලය සඳහා ඩොලර් මිලියන 25 ක්ද ආයෝජනය කිරීම සඳහා වන යෝජනාවක් ආසිරි වරාය නගරය රෝහල (පෞද්ගලික) සමාගම සහ ගේට්වේ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල (පෞද්ගලික) සමාගම විසින් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනතේ 6(1) (ඇ) වගන්තියෙහි විධිවිධාන පරිදි රෝහල, පාසල සහ විශ්ව විද්‍යාලය සඳහා ඉඩම් කොටස් බදු දීම සඳහා වන ගිවිසුම් වලට එළඹීම පිණිස ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.