උද්දිකගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ හිටපු ASPට ඇප

උද්දිකගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ හිටපු ASPට ඇප

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම අද (13) ඇප මත මුදා හැරියා.

සැකකරු ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබුවේ අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදී හේවාවසම් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මන්ත්‍රීවරයාගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව පසුගිය 05 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ, එම දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ උපදෙස් මත එහි මිනිමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා ඇතුලු කණ්ඩායමක් විසින් ව්‍යාපාරිකයෙකු වන විරන්ජිත් තාඹුගලගේ බිරිදගේ මිතුරියකට අයත් හෝකන්දර ප්‍රදේශයේ පිහිටි නිවසක රැදී සිටියදීයි.

මෙම වෙඩිතැබීමේ සිද්ධිය සැලසුම් සහගතව සිදු කළ බවට පොලිසිය ප්‍රකාශ කළ අතර සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා විදේශගතව සිට යළි පැමිණ ඇති බවටද තොරතුරු වාර්තා වී තිබුණා.