දුම්රිය වර්ජනය අඛණ්ඩව

දුම්රිය වර්ජනය අඛණ්ඩව

උසස්වීම් ලබා නොදීම හා බඳවා ගැනීම් සිදු නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භකර ඇති වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව එම වෘත්තීය සමිති පවසයි.

දුම්රිය බලධාරීන් සිය ඉල්ලීම් ඉටු කරන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බවත් බලපෑම් කර වෘත්තීය සමිති මර්ධනය කළ නොහැකි බව ආණ්ඩුව ඇතුළු දුම්රිය බලධාරීන් අවබෝධ කරගත යුතු බවත් ඔවුන් පවසයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබුවේ, පසුගිය 09 වනදා මධ්‍යම රාත්‍රීයේ සිටයි.

වර්ජනය ක්‍රියාත්මක වුවත්, කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය 35 ක් අද ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

වර්ජනය හේතුවෙන් ඊයේ දිනය තුළ දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කෙරුණු අතර දුම්රිය කිහිපයක් පමණක් ධාවනය කිරීම හේතුවෙන් මගීන් දැඩි දුෂ්කරතාවකට පත්වුණි.

වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්. මුදලිගේ මහතා සඳහන් කළේ, වර්ජනය ක්‍රියාත්මක වුවද ඊයේ දිනයේ දී දුම්රිය ගමන්වාර 70ක් පමණ ධාවනය කිරිමට කටයුතු කළ බවයි.

මේ හේතුවෙන් ඊයේ පෙරවරු 10ට පමණ වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්. මුදලිගේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, දහවල් 12 වනවිට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් ළඟම ඇති දුම්රිය ස්ථානයක සේවයට වාර්තා කළ යුතු බවත් පොදු ප්‍රවාහන සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති පසුබිමක වර්ජනය කිරීම විනය විරෝධී බවයි.