කළුතර තෂී ඝාතනයේ සැකකරු බන්ධනාගාරයේදී මිය ගිහින්

කළුතර තෂී ඝාතනයේ සැකකරු බන්ධනාගාරයේදී මිය ගිහින්

කළුතර, කටුකුරුන්ද දුම්රියපොළ පාරේ නිවසකදී තෂී නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි සැකකරු හදිසියේ මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, තෙබුවන පැලපිටියාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තුෂාර රුක්මාල් සිල්වා නමැති රැඳවියකු බවයි, පොලීසිය සඳහන් කළේ.

මියගොස් ඇති රැඳවියා මනුෂ්‍ය ඝාතන චෝදනාව යටතේ පසුගිය 25 වන දා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිට ඇති බව පොලිසිය පවසයි.

රැඳවියා ඊයේ (27) පස්වරුවේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව සදහන් වේ.

මියගිය සැකකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (28) කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබේ.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

පසුගිය 20 වනදා කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් 40 හැවිරිදි තෂ්මින් මධුවන්ත සිල්වා නොහොත් කලමුල්ලේ තෂී නැමැත්තා මියගොස් ඔහුගේ 7 හැවිරිදි දියණිය තුවාල ලැබීය.

අදාළ පුද්ගලයා සිය නිවසේ දරු තිදෙනා සමඟ රාත්‍රි ආහාරය ලබා ගනිමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතබා පළා ගොස් තිබිණි.

Share This