තලාවේ මාරක අනතුරක් – තරුණයින් දෙදෙනෙක් මරුට

තලාවේ මාරක අනතුරක් – තරුණයින් දෙදෙනෙක් මරුට

අනුරාධපුර පාදෙණිය ප්‍රධාන මාර්ගයේ තලාව ගොවිජන සේවා කේන්ද්‍රය ඉදිරිපිටදී අද (23) අළුයම ත්‍රීරෝද රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයෙන් දෙදෙනෙකු මියගොස් තවත් තරුණයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි තලාව පොලීසිය පවසයි.

තුවාල ලැබූ තරුණයින් දෙදෙනා තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ, එප්පාවල පොලිස් වසමේ මැඩියාව ප්‍රදේශයේ පදිංචි සුපුන් සාලින්ද පෙරේරා (24) කවිඳු මදුශාන් පද්මසිරි(19) යන තරුණයින් දෙදෙනෙකි.

මෙම තරුණයින් පිරිස ඊයේ (22) රාත්‍රියේ අනුරාධපුර පැවති “පුරවර උදානය” පොසොන් සැණකෙළියට සහභාගී වී යළිත් නිවෙස් වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි, සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන තලාව පොලිසිය සඳහන් කළේ.

රත්නපුර ප්‍රදේශයේ සිට යාපනය දෙසට විනෝද චාරිකාවක් යමින් සිටි බස් රථයේ අනුරාධපුර දෙස සිට තලාව දෙසට ගමන් කළ තීරෝද රථය මෙලෙස මුහුණට මුහුණ ගැටී තිබෙන බව පොලිසිය පැවසීය.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, ත්‍රීරෝද රථයේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ප්‍රතිවිරුද්ධ මන්තීරුවෙන් පැමිණි බස් රථයේ ගැටී තිබෙන බවයි.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ තරුණයින් පිරිස තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළද ඉන් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් සිටි බවත් බරපතළ තුවාල ලැබූ අනිත් තරුණයින් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යැවූ බවත් ඉන් එක් තරුණයකුගේ තත්වය බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.

මේ වනවිට බස් රථයේ රියදුරු සහ බස් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන තලාව පොලිසිය මගින් සිදු කරනු ලබයි.

Share This