සුනාමි නිවාස 500ක් වසර 14කට පසු ජනතා අයිතියට

සුනාමි නිවාස 500ක් වසර 14කට පසු ජනතා අයිතියට

සුනාමි ව්‍යසනය හේතුවෙන් නිවාස අහිමිව අවතැන්වූ පවුල් 500ක් වෙනුවෙන් ඉදිකරන ලද නිවාස 500ක් වසර 14කට පසුව ප්‍රතිලාභීන් වෙත පවරාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබෙනවා.

2009 වසරේදී සවුදි අරාබියානු රජයේ ආධාර මත ක්‍රියාත්මක කරන ලද මෙම නිවාස ව්‍යාපෘතියෙන් අම්පාර නොරොච්චෝල ප්‍රදේශයේ නිවාස 500ක් ඉදි කර තිබුණත් ඒවා ප්‍රතිලාභීන් වෙත භාර දීමට කටයුතු කර නැහැ.

පසුගියදා ශ්‍රී ලංකාවේ සවුදි අරාබියානු තානාපති කාලිඩ් හමූඩ් අල් කටානි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්වරුන් අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස කඩිනමින් එම නිවාස ජනතාව වෙත පවරා දීමට තීරණය කෙරුණා.

පසුගිය 2011 වසරේ ජූනි මාසයේදී මෙම නිවාස ව්‍යාපෘතිය අවසන් කර තිබෙන අතර එවකට ශ්‍රී ලංකාවේ සවුදි අරාබියානු තානාපති අබ්දුල් අසීස් අල් ජම්මාස් මහතා විසින් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙම නිවාස ව්‍යාපෘතිය නිල වශයෙන් භාර දී තිබුණා

නමුත් අධිකරණ තීන්දුවකට අනුව එය ප්‍රතිලාභීන් වෙත භාරදීම අත්හිටුවා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

නිවාස 500කින් සමන්විත මෙම ව්‍යාපෘතියට පාසලක්, සුපිරි වෙළෙඳ සංකීර්ණයක්, රෝහලක්, පල්ලියක් ඇතුළු අංග රැසක් අයත් වන අතර සමස්තයක් වශයෙන් ගත් කල එය ගම්මානයක් බව ද මෙය කඩිනමින් ප්‍රතිලාභීන් වෙත බෙදාදීම සවුදි අරාබියාවේ අපේක්ෂාව බවද සවුදි අරාබියානු තානාපති කාර්යාලයේ ආරංචි මාර්ග පවසනවා.

අදාළ අධිකරණ තීන්දුවෙන් පසුව මේ දක්වා විවිධ ආණ්ඩු සහ විවිධ රාජ්‍ය නායකයන් සමඟ මේ පිළිබඳ සාකච්ඡා කළ අතර පසුගියදා සවුදි අරාබියානු තානාපතිවරයා සහ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී මෙම නිවාස ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමෙන් අනතුරුව එය කඩිනමින් ප්‍රතිලාභීන් වෙත බෙදාදීමට තීරණය කර තිබෙනවා.