දෙදෙනෙකුට ජීවිතය දී අවසන් ගමන් ගිය සුභන්‍යා

දෙදෙනෙකුට ජීවිතය දී අවසන් ගමන් ගිය සුභන්‍යා

මොළය මියගිය තරුණියකගේ අවයව කෑගල්ල දිස්ත්‍රික් මහරෝහලේ දී තවත් රෝගීන් දෙදෙනෙකුට බද්ධ කිරීම සාර්ථකව සිදු කර තිබෙනවා.

අවයව බද්ධ කළ රෝගීන්ද යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව එම රෝහලේ වෛද්‍යවරුන් පවසනවා.

කෑගල්ල බල්ලපාන දම්වල ප්‍රදේශයේ පදිංචිව සිටි ආර් සී සුභන්‍යා නමැති 21 හැවිරිදි තරුණිය පසුගිය 9 වනදා කෑගල්ල මහරෝහලට ඇතුළත් වන්නේ හිසෙහි ඇතිවූ තදබලවේදනාවක් හේතුවෙන්.

ඇය පරික්ෂාකළ වෛද්‍යවරුන් සුබන්‍යාගේ හිස අභ්‍යන්තරයේ රුධිරය වහනය වෙමින් පවතින බවට තහවුරු කර ගැනීමත් සමග දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන්නේ ඇය සිහිසුන් තත්ත්වයේ සිටියදීයි.

දින 5ක් පුරා ඇයගේ දිවි බේරා ගැනීමට වෛද්‍යවරුන් දැඩි උත්සාහයක නිරතවුවද පසුගිය 13 වනදා ඇයව පරික්ෂා කළ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා තීරණය කරන්නේ සුභන්‍යාගේ මොළය මිය ගොස් ඇති බවයි.

මෙම තත්ත්වය පිළිබද තරුණියගේ දෙමව්පියන් සහ සහෝදරියන් දැනුවත් කිරීමට පියවර ගන්නා වෛද්‍යවරුන් ඇයගේ ශරීර අවයව වෙනත් අයෙකුට ලබා දිය හැකි බවටද දැනුම් දෙනවා.

එම තත්ත්වය අවබෝධකර ගන්නා පවුලේ සාමාජිකයන් සුබන්‍යාගේ වකුගඩු, අක්මාව සහ අක්ෂි, වෙනත් රෝගීන්ට ලබා දීමට කැමැත්ත පළකරනවා.

ඒ අනුවයි කොළඹ ජාතික රෝහල, මහනුවර මහරෝහල සහ කොළඹ අක්ෂි රෝහල සම්බන්ධ කරගනිමින් පසුගිය 14 වනදා කෑගල්ල මහරෝහලේදී මෙම අවයව බද්ධ කිරීමේ සැත්කම සිදු කෙරෙන්නේ.