දුම්රිය වර්ජනයක් අත ලඟද ? අවසන් තීරණය අද

දුම්රිය වර්ජනයක් අත ලඟද ? අවසන් තීරණය අද

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරියේ දී ගනු ලබන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ අද (16) දිනයේ දී අවසන් තීරණයකට පැමිණෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සදහන් කරයි.

සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට බලධාරීන් එකඟතාව පළකළ ද මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලැබී නොමැති බවයි, එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ.

උසස් වීම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පසුගියදා දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක නිරත වූ අතර, අදාළ ගැටලුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඊට විසදුම් ලබාදෙන බවට විෂය භාර අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දුව මත එම වැඩවර්ජනය තාවකාලිකව නතර කරනු ලැබුවා.

කෙසේ වෙතත් ඊයේ (15) දිනයේ දී සිය ඉල්ලීම් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවී නොමැති බැවින් සිය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අද පෙරවරුවේ රැස් වී තීරණය කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළා.