එක්සත් ජනපද පැසිෆික් බළඇණියේ අණදෙන නිලධාරි අද්මිරාල් ස්ටීව් කේලර් අද දිවයිනට

එක්සත් ජනපද පැසිෆික් බළඇණියේ අණදෙන නිලධාරි අද්මිරාල් ස්ටීව් කේලර් අද දිවයිනට

ශ්‍රී ලංකා – එක්සත් ජනපද ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින් එක්සත් ජනපද පැසිෆික් බළඇණියේ අණදෙන නිලධාරි අද්මිරාල් ස්ටීව් කේලර් මහතා සංචාරයක් සඳහා අද (10) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

පසුගිය 2021 න් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන ඉහළම මට්ටමේ හමුදා සංචාරය සනිටුහන් කරමින්, එක්සත් ජනපද නාවික හමුදාවේ තරු 4ලාභී අද්මිරාල්වරයකු සහ එක්සත් ජනපද පැසිෆික් බළඇණියේ අණදෙන නිලධාරිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

මෙම සංචාරයේ දී අද්මිරාල් කේලර් මහතා විසින් සවිමත්, තිරසාර, නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් සහයෝගිතාව යළි තහවුරු කරන අතර අද්මිරාල් කේලර් මහතා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ඉන්දීය සාගර කලාපයේ වර්ධනය වන ආරක්ෂක අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම, සමුද්‍රීය වසම් පිළිබඳ දැනුම්වත් වීම, ආපදා ප්‍රතිචාර දැක්වීම පිළිබඳ සහයෝගිතාව ශක්තිමත් කිරීම සහ අන්තර්ජාතික තර්ජනවලට එරෙහිව ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා වන එක්සත් ජනපදයේ ඇති කැපවීම නැවත තහවුරු කිරීමට මෙන්ම එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා හමුදාවන් අතර සහයෝගිතාව වර්ධනය කිරීම පිළිබඳව ද සාකච්ඡා පවත්වන බව එම තානාපති කාර්යාලය කියයි.

ඉන්දු පැසිෆික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධාන හවුල්කරුවකු වන ශ්‍රී ලංකාව සමඟ ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජනපදයේ ඇති, දැඩි කැපවීම මෙම සංචාරය මගින් අවධාරණය කරයි.

අද්මිරාල් ස්ටීවන් කේලර් මහතා නාවික හමුදා පවුලක හැදී වැඩුණු අතර 1986 වසරේ බෝල්ඩර්හි පිහිටි කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය ලබා ගනිමින්, නාවික සංචිත නිලධාරි පුහුණු බළකාය හරහා අධිකාරි නිලයකට පත්වීම් ලබා තිබේ.

1989 මාර්තු මාසයේ දී නාවික ගුවන් නියමුවකු ලෙස පත්වීම් ලැබූ අද්මිරාල් ස්ටීවන් කේලර් මහතා F-14 ටොම් කැට් සහ F-18 සුපර් හෝර්නෙට් යානා, ගුවන් යානා වාහක මත ගොඩබෑම් 600 ක් සමඟ පැය 3,900 කට වැඩි පියාසර කාලයක් සිදුකර ඇත.