ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගැලවුණු තරුව යළි ලැබෙයි

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගැලවුණු තරුව යළි ලැබෙයි

නියමු කුටි ප්‍රොටෝකෝල් නීති කඩකිරීම සම්බන්ධයෙන් ගුවන් නියමුවකුට එරෙහිව ගුවන් සමාගම කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමෙන් පසු, ලොව පුරා ගුවන් සේවා ශ්‍රේණිගත කිරීමේ ප්‍රමුඛ ආයතනයක් වන  AirlineRatings.com විසින් පසුගිය දා පහත හෙළන ලද මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආරක්ෂිත ශ්‍රේණිගත කිරීම ‍යළි තරු 7 තත්ත්වය දක්වා ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

පසුගිය සැප්තැම්බරයේ සිඩ්නි සිට කොළඹ දක්වා පැය 10ක ගුවන් ගමනක් අතරතුර සහායක කාන්තා ගුවන් නියමුවරිය නියමු කුටියෙන් පිටතට දමා අගුළු දැමූ කපිතාන්වරයෙකු සම්බන්ධ සිද්ධියක් හේතුවෙන් මීට පෙර AirlineRatings.com විසින් ගුවන් සමාගමේ ආරක්‍ෂිත ශ්‍රේණිගත කිරීම තරු හතේ සිට හය දක්වා පහත දමා තිබිණි.

ගුවන් යානය පියාසර කරමින් තිබියදී එහි සහායක ගුවන් නියමුවරිය වැසිකිළිය වෙත ගොස් ඇති අතර, ඔවුන් අතර ඊට පෙර හටගත් මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් ඇය වැසිකිළියේ සිට ආපසු පැමිණි පසු කපිතාන්වරයා විසින් නියමු කුටියේ දොර විවෘත නොකිරීම මෙම ගැටලුකාරී තත්ත්වයට මුල් වී තිබුණා.

ගුවන් නියමුවරිය වැසිකිළියට ඇතුළු වීමෙන් පසු කපිතාන්වරයා විසින් දොර වසා දමා ඇති බවටද විවිධ වාර්තා පළ වුණා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පැවසුවේ මෙම සිද්ධිය ගැන විමර්ශනයක් ඇරඹූ බවයි.

අදාළ ගුවන් නියමුවරිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය, ශ්‍රී ලංකන් ගුවන්සේවා ආරක්ෂක අංශය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවා මානව සම්පත් කළමනාකරන අංශයට ද පැමිණිලි කර තිබුණා

සිද්ධියට සම්බන්ධ කපිතාන්වරයාගේ වැඩ තාවකාලිකව තහනම් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිචාර දක්වා තිබේ.

මීට අමතරව, ආරක්ෂක රෙගුලාසි සහ ප්‍රොටෝකෝල වලට අනුකූල වීම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

එම විමර්ශන ක්‍රියාත්මක පසුබිමක සිද්ධියට සම්බන්ධ කපිතාන් වජිර වනසිංහ එම තනතුරින්ද ඉල්ලා අස් වීමට කටයුතු කර තිබේ.