ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තරුවක් ගැලවෙයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තරුවක් ගැලවෙයි

සිඩ්නි සිට කොළඹ බලා සැප්තැම්බර් 21 දින පියාසර කරමින් තිබූ UL607 අංක දරණ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යූඑල් 607 දරන ගුවන් යානයේ නියමු කුටිය අගුලු දැමීමේ සිද්ධිය අතිශය බරපතල සිද්ධියක් සේ දක්වමින් එයාර් ලයින් රේටින්ග්ස් ආයතනය (AirlineRatings.com) විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආරක්ෂිත ශ්‍රේණිගත කිරීම තරු හතේ සිට හය දක්වා පහත හෙලා ඇත.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පාර්ශවයෙන් එසේ පරීක්ෂණ සිදුකළත් මෙම සිදුවීම හරහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ විශාල කැළලක් ඇති වී තිබේ.

ඒ පිලිබඳව AirlineRatings.com සිය නවතම වාර්තාව පසුගිය දා නිකුත් කර තිබුණි.

Aviation Herald (AV) ට අනුව, අදාළ ගුවන් නියමුවරයා තම සහයක නිලධාරිනියට ආපසු පැමිණීමට නොහැකිවන ලෙස කටයුතු කර ඇති අතර යානය කොළඹට ගොඩ බෑමෙන් අනතුරුව අපහසුතාවයට පත්වූ නිලධාරිනිය විසින් පැමිණිලි කරමින් දක්වා ඇත්තේ ඇය සහ ගුවන් යානයේ නියමුවරයා අතර ඇතිවූ මතභේදයක් අදාල සිද්ධියට මුල් වූ බවය.

සිඩ්නි සිට කොළඹ බලා සැප්තැම්බර් 21 දින පියාසර කරමින් තිබූ UL607 අංක දරණ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යූඑල් 607 දරන ගුවන් යානයේ නියමු කුටිය අගුලු දැමීමේ සිද්ධියට සම්බන්ධව චෝදනා එල්ල වූ කපිතාන්වරයා සේවයෙන් ඉල්ලා අස්වුවත් ඔහු සම්බන්ධයෙන් සිදුකෙරෙන කිසිදු පරීක්ෂණයකට එය බාධාවක් නොවන බවත් ඊට අදාළ සියලුම පරීක්ෂණ ස්වාධීනව ක්‍රියාත්මකවන බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පොදු සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා ප්‍රකාශ කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් පරීක්ෂණ දෙකක් පවත්වන බවත් සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් තවත් පරීක්ෂණයක් පවත්වන බවත්ය.

එසේම මෙම සිදුවීම පදනම් කරගනිමින් ආසියාවේ පැරණිතම ගුවන් සේවයක් ලෙස සැලකෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයට විශාල අපකීර්තියක් සහ කැළලක් සිදුවූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

අදාළ සියලුම පරීක්ෂණ ජාත්‍යන්තර ගුවන් ආරක්ෂණ රෙගුලාසිවලට අනුකූලව සිදුවන බවත් මේ සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයකින් අනතුරුව ඊට අදාල තීරණ ගැනීම සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සිදුකරන බවත් දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.