අධික දුම් පිට කරන වාහනයක් දැක්කොත් කළයුතු දෙයක් ගැන දැනුම් දීමක්

අධික දුම් පිට කරන වාහනයක් දැක්කොත් කළයුතු දෙයක් ගැන දැනුම් දීමක්

අධික දුම් පිට කරන වාහනයක් දුටුවහොත් එම වාහනය දුටු ස්ථානය, වේලාව, දිනය සහ වාහන අංකය සඳහන් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හඳුන්වා දුන් 070 3500 525 වට්ස්ඇප් දුරකථන අංකයට යොමු කරන ලෙස වායු විමෝචන භාරකාර අරමුදල ජනතාවගෙන් ඉල්ලා සිටී.

වායු විමෝචන භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා පවසන්නේ එම වට්ස්ඇප් අංකයට වාහනයේ ඡායාරූපයක් හෝ වීඩියෝ පටයක් යොමුකරන ලෙසයි.

එවිට අදාළ වාහන හිමියන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්යලයකට කැඳවීමක් කර පරීක්ෂා කරන බව ද ඔහු සඳහන් කරයි.

ඒ සඳහා ප්‍රතිචාර නොදක්වන්නේ නම් වාහනය අසාදු ලේඛනගත කෙරෙන බවද වායු විමෝචන භාරකාර අරමුදලේ අධ්‍යක්ෂවරයා පවසයි.

පසුගිය වසරේ එවැනි පැමිණිලි 1800ක් පමණ ඔවුන් වෙත ලැබී තිබේ.

ඉන් කැඳවීම් කර අවසාන වශයෙන් අසාදු ලේඛනගත කළේ වාහන 200ක් පමණ බව දසුන් ගමගේ පවසයි.

මේ වසරේ දැනට වාහන 517ක තොරතුරු ලැබුණු බවත් ඉන් 93ක් පමණ අසාදු ලේඛන ගත කර ඇති බවත් වායු විමෝචන භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ දසුන් ගමගේ වැඩිදුරටත් සඳහන් කළේය.