පොහොට්ටුව ජනපතිට සති 2 ක් කල් දෙයි

පොහොට්ටුව ජනපතිට සති 2 ක් කල් දෙයි

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ වලින් මන්ත්‍රීවරුන් විසිපස් දෙනෙකු කැඳවාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවත් සති දෙකක කාලයක් ලබා දී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අනුව, ලබන 29 වැනිදාට පෙර ආණ්ඩුව එම මන්ත්‍රීවරුන් පිරිස කැඳවා ගත යුතුව ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ හැක්කේ, එම එම මන්ත්‍රීවරුන් සංඛ්‍යාව කැඳවා ගතහොත් පමණක් බව එම පක්ෂය ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම මේ මස අග සිදු කරන බවයි.

ජනාධිපති අපේක්ෂකයකු නම් කර සති 4ත් 6 ත් අතර කාලයකදී ඔහු ජයග්‍රහණය කරවීමට තරම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාන්ත්‍රණය ශක්තිමත් බවද හෙතෙම සඳහන් කළේය