සජබ යළිත් මාලිමාවෙන් දින ඉල්ලයි

සජබ යළිත් මාලිමාවෙන් දින ඉල්ලයි

රටේ ආර්ථික ප්‍රතිපත්තිය කෙසේ විය යුතු දැයි කියා පවත්වනු ලබන විවාදය කඩිනමින් පැවැත්වීම සඳහා සාකච්ඡාවකට පැමිණෙන ලෙස සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය වෙත ලිඛිත ආරාධනයක් කර තිබේ.

එම පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානි සහ විවාද සම්බන්ධිකාරක පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ජාතික ජන බලවේගයේ විධායක සභික, වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා වෙත අද (27) ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර තිබේ.

එම ලිපියේ මෙසේද සඳහන් කර ඇත.

සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව හා ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව අතර රටේ ආර්ථික ප්‍රතිපත්තිය සැකසිය යුත්තේ කෙසේද? යන්න අරභයා විවාදයක් පැවැත්වීමේ යෝජනාව මවිසින් ඉදිරිපත් කළේ වර්තමානයේ අප මුහුණ දී ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ රටේ ආර්ථිකය ගොඩනැගීම නිසාය.

ඒ සඳහා දැනටමත් සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව විසින් රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා වූ තාක්ෂණික සැලසුමක් සහිත මාර්ග සිතියමක් ප්‍රකාශයට පත්කොට ඇත.

එවැනි විවාදයකට අවශ්‍ය පදනම අප විසින් සකසා තිබිය දී පවා, ඔබගේ පක්ෂය විසින් ආර්ථික කමිටු විවාදය මඟ හැරීමට දරන උත්සහය තේරුම් ගැනීමට අපහසුය.

අප ආර්ථික කමිටු විවාදයකට ඇරැයුම් කරද්දි එයට ඉදිරිපත් නොවී නායකත්ව විවාදයකට ඔබ කළ යෝජනාව අප විසින් කිසිදු පැකිලිමකින් තොරව පිළිගෙන ඇත.

එම විවාදය සඳහා විටින් විට විවිධ යෝජනා රැගෙන එමින්, අපගේ මූලික යෝජනාව පිළිබදව කිසිදු පැහැදිලි කිරීමක් සිදු නොකරන්නේ මන්දැයි අපි යළිත් ප්‍රශ්න කරමු.

අපගේ මූලික ඉල්ලීම මත විවාද දෙක අතුරින් පළමුව ආර්ථික විවාදය පැවැත්වීමත්, දෙවනුව නායකත්ව විවාදය පැවැත්වීමත් පිළිබද අපගේ ස්ථාවරය එලෙසම පවතින බව අවධාරණය කරමු.

එබැවින්, අප විසින් යෝජනා කරනු ලැබූ දින අතුරින් ආර්ථික කමිටු විවාදයට ඔබ ලබාදෙන දිනය ද නොපමාව දැනුම් දෙන්නේ නම් මැනවි.

එවිට අදාළ විවාද දෙක පිළිබදව සැලසුම් සකස් කිරීම (නාලිකාව හෝ නාලිකා තෝරාගැනීම, මැදිහත්කරුවන් පිළිබදව තීරණය කිරීම ආදී කරුණු) සඳහා වූ සාකච්ඡාවකට ඔබට යළිත් ඇරයුම් කරමි.

අප විසින් යෝජනා කරනු ලැබු ආර්ථික කමිටු විවාදය පිළිබදව කිසිදු සඳහනක් නොකොට, එම විවාදය පිළිබදව අවධානය වෙනත් දිශාවකට යොමුකරන සුපුරුදු උත්සහය තුළ අප දකින්නේ ඔබ විසින් විවාද දෙකම නොපැවැත්වීමට පසුබිම සලසන ආකාරය නිරීක්ෂණය වීම බව කණගාටුවෙන් සදහන් කරමි.

Share This