සිංහබාහු චිත්‍රපටය ජංගම දුරකථනයකින් වීඩියෝ කර යූටියුබ් ඔස්සේ ප්‍රචාරය කළ අයෙක් අත්අඩංගුවට

සිංහබාහු චිත්‍රපටය ජංගම දුරකථනයකින් වීඩියෝ කර යූටියුබ් ඔස්සේ ප්‍රචාරය කළ අයෙක් අත්අඩංගුවට

ප්‍රවීණ සිනමාවේදී සෝමරත්න දිසානායක මහතාගේ සිංහබාහු චිත්‍රපටය සිනමා ශාලාවක් තුළදී ජංගම දුරකථනයකින් පටිගත කර යූ ටියුබ් චැනලයක් ඔස්සේ ප්‍රචාරය කළ බව කියන මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකු පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කටුගස්තොට සීගිරි සිනමා ශාලාවේ දී සිය ජංගම දුරකථනයෙන් සිංහබාහු චිත්‍රපටය සම්පූර්ණයෙන්ම පටිගත කර තිබෙන බව පොලිස් 24 පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

පොලිස් පරිගණක අපරාධ කොට්ඨාශය මගින් සැකකරු (11) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු මෙම මස 24 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

තම චිත්‍රපටය සිනමා ශාලාවක් තුළදී ජංගම දුරකථනයක් ආධාරයෙන් රහසිගතව පටිගත කර යූ ටියුබ් චැනලවකට මුදා හැර තිබෙන බවට ලද තොරතුරකට අනුව තමන් පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූ බව ප්‍රවීණ සිනමාවේ දී සෝමරත්න දිසානායක මහතා පැවසීය.

විශාල පිරිවැයක් දරමින් බිහි කරනු ලබන සිනමා නිර්මාණයක් මේ ආකාරයෙන් වංචා සහගත ලෙස පටිගත කර සමාජ මාධ්‍යට මුදා හැරීම බරපතළ අපරාධයක් බවත් මෙමගින් දේශීය සිනමා කර්මාන්තයේ පැවැත්මට දැඩි අභියෝගයක් එල්ල වන බවත් ඔහු කීය.

ඉතා වෙහෙසකර ක්‍රියාවලියකින් පසු ජනතා ප්‍රදර්ශනයට මුදා හරින සිනමා පට මේ ආකාරයෙන් වංචා සහගත ලෙස පටිගත කර සමාජ මාධ්‍යයට මුදා හරින පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතු බවද හෙතෙම අවධාරණය කළේය.

මෙම නඩුව විභාගයට ගන්න අවස්ථාවේ එහෙට සහභාගී වී උසාවියෙන් එළියට එන අවස්ථාවේදී මාධ්‍ය අමතමින් ආචාර්ය සෝමරත්න දිසානායක මේ අදහස් ප්‍රකාශ කළේය.